Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිල 2-1 කින් බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල 2-1 කින් බංග්ලාදේශය පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති පස්වැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹායමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම, වර්ෂාව හේතුවෙන් ඕවර 19.2 ක් අවසානයේ තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය. වර්ෂාව නිමා වීමෙන් අනතුරුව බංග්ලාදේශ ඉනිම ඕවර 37 කට සීමා කරමින් පස්වරු 5.00 යළිත් තරගය ආරම්භ කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. එහිදී බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක නව ඉලක්කයක් හිමිවිය.

නැවත තරගය ආරම්භ කෙරුණද, එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යැවීමට හැකි වූයේ පන්දු 10 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ ඕවර 21 ක් සම්පූර්ණ කිරීමත් සමග යළිත් වරක් ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා හැළුණ අතර හතරේ සීමාව අසල ප්‍රදේශය දැඩි ලෙස තෙත බරිත වී තිබීම නිසා එතැනින් තරගය නිමාවට පත්කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

කඩුලු 4 ක් බිඳවැටී තිබූ බැවින් ඩත්වත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ඕවර 21 ක් අවසානයේ ලකුණු 100 ක් රැස්කරගත යුතුව තිබිණ. එහෙත් දෙවැනි වරටත් තරගය නතර කරන විට ඔවුන් ලබා සිටියේ ලකුණු 80 ක් පමණි. තරගය නිමාවන විට ශමීම් පට්වාරි ලකුණු 16 ක්ද, අක්බර් අලී ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි ඕවරයේදීම ආරම්භක පිතිකරු ටැන්සිඞ් හසන් ටමීම් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට අෂේන් ඩැනියෙල් සමත් විය. ස්ලිප්හි පන්දු රකිමින් සිටි නායක නිපුන් ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ටැන්සිඞ් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. ඉන් නොනැවතන ඩැනියෙල්, අතිරේක ක්‍රීඩකයා ලෙස කඩුලු රැකීමේ කාර්යයේ නිරතව සිටි මුදිත ප්‍රේමදාස සමග එක්ව බංග්ලාදේශ යොවුන් කණ්ඩයමේ නායක තව්හිද් රිඩෝයිගේ ඉනිමද ලකුණු 6 කට සිමා කළේය.

තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි පර්විස් හොසේන් පන්දු 40 කට මුහුණ දෙමින් දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැදී සිටියද, රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ නවීන් ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට හතරේ පහරක් සමග ඔහු ලබා සිටියේ ලකුණු 16 ක් පමණි. පන්දු 28 කදී හයේ පහරක් සමග ලකුණු 21 ක් ලබා සාර්ථක ලෙස පන්දු රකිමින් සිටි මහමදුල් හසන් ජෝයි දැවී ගියේ නවීන් ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ගැසූ කට් පහරකින් ඇදී ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට පොයින්ට් කාළාපයේ පන්දු රකිමින් සිටි අවිෂ්ක තරිඳු සමත්වීම හේතුවෙනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 205 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාර, පන්දු 135 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 83 ක් රැස්කළේය. නොතිබූ ලකුණක් කරා පැති මාරු කරගැනීමට යෑමෙදී දුවද්දී දැවීයෑමකට හසුවෙමින් ඔහු දැවී ගියේ ශතකයක් කාරා යෑමට තිබූ අනගි අවස්ථාවක්ද අහිමිකර ගනිමිනි.

රවිඳු රෂාන්ත (22) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 දී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිෂාර, ඉන් නොනැවතී සොනාල් දිනූෂ (28) සමග එක්ව පසවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 දී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

රිෂඞ් හොසේන්ගේ පන්දුවක් හමුවේ නායක තව්හිද් රිඩෝයි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 33 කදී වාර්තා වූ රෂාන්තගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් වී තිබූ අතර දුවද්දී දැවීයෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 39 කට මුහුණදී සිටි දිනූෂගේ ඉනිමද එක් හතරේ පහරකින් සමන්විත වී තිබිණ.

මුලු ලකුණු සංඛ්‍යාව 32 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12 ක් ලබා සිටි නවෝද් පරණවිතාන දැවී ගියේද දුවද්දී දැවීයෑමකට හසුවෙමිනි. නායක නිපුන් ධනංජයටද මෙම තරගයේදී පිත්තෙන් වැඩි යමක් කිරීමට අවස්ථාවක් නොලැබුණ අතර තව්හිද් රිඩෝයිගේ පන්දුවක් හමුවේ මහමදුල් හසන් ජෝයි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණ 17 ක් පමණි.

පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අවිෂ්ක තරිඳුගේ (3) කඩුල්ල බිඳ දමමින් ආපයින්ම ඔහු ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට රිෂාඞ් හොසේන් සමත් විය. ලකුණු ලබාැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහකදී චමිඳු විජේසිංහ ලකුණු 7 කට දැවී ගියේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ රිෂාඞ් හොසේන් අතට උඩ පන්දුවක් දෙමිනි.

අශේන් ඩැනියෙල්

 

කමිල් මිෂාර

 

+

රවිඳු රසන්ත

 

රවිඳු රසන්ත

 

රොහාන් සංජය

 

රිෂාඩ් හොසේන්


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල 2-1 කින් බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.