Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 409 ක් පසුපසින්

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 409 ක් පසුපසින්

Nisanka Sandeepani - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගය දෙවැනි දිනය (14 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 409 ක් පසුපසින් සිටියි. 

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 27 ක් ලබා සිටි නායක අෂාන් ප්‍රියන්ජන් දැවී යෑමෙන් අනතුරුව මන්දාලෝක තත්වය හේතුවෙන් දෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඒ වන විට අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 50 ක් ලබා සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 18 ක් වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (4) සහ අවිෂ්ක ප්‍රනාන්දු (13) පිටියෙන් ඉවත් කිරීමට ක්‍රෙග් යංග් සමත් විය. එහෙත් අෂාන් ප්‍රියන්ජන් සමග එක්වූ ඇන්ජලෝ පෙරේරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 508 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. අයර්ලන්ත ඉනිම අත්හිටුවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි ජේම්ස් කැමරන් නොදැවී ලකුණු 76 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

පළමු දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටි අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 222 ක් එක්කරගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අද දිනයේදී දවාගත හැකි වූයේ කඩුලු 4 ක් පමණි. එහිදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 142 කට කඩුලු 3 ක්ද, චාමික කරුණාරත්න ලකුණු 99 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ලෝකන් ටකර් (80) සහ නීල් රොක් (85) අද පෙරවරුවේදීද ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් අයර්ලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 163 ක් දක්වා ඉහළ දැමූහ. ටකර්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර රොක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

නායක අෂාන් ප්‍රියංජන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ටකර් දැවී යෑමත් සමග අයර්ලන්ත ඉනිමේ පස්වැනි පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 46 ක් එක්වන විට නීල් රොක් සහ මාක් ඇඩෙයර් (32) ද පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න සමත් වූහ.

කෙසේ වුවත් ජොනතන් ගර්ත් (45) සහ ජේම්ස් කැමරන් (නොදැවී 76) එක්ව අයර්ලන්ත ඉනිමේ පසුපෙළ ශක්තිමත් කරමින් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ සම්මු අෂාන් අතට උඩ පන්දුවක් දෙමින් ගර්ත් දැවී යෑමත් සමග එම සම්බන්ධතාවට තිත තැබිණ. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

 

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 409 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.