Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ‘ඒ’ 2-0 කින් පෙරමුණ ගනී

ශ්‍රී ලංකා ‘ඒ’ 2-0 කින් පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 175 ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ඕවර 35.5 ක් අවසානයේ ලකුණු 162 කට සීමා කිරීමට මිලින්ද සිරිවර්ධන ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිරිවර්ධන, ඕවර 4.5 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 4 ක් බිඳහෙළීය. අයර්ලන්ත ‘ඒ’ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සිරිවර්ධනට අනගි සහයක් දුන් ඉසුරු උදාන සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගත්හ.

ඉනිම ආරම්භයේදීම අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම දැඩි පීඩනයකට පත්කළ ඉසුරු උදාන, පළමු ඕවරයේ පළමු සහ පස්වැනි පන්දුවලදී ජෙම්ස් ෂැනන් (0) සහ ස්ටුවර්ට් තොම්සන් (0) පිටියෙන් ඉවත් කළේ ඔවුන් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කමිඳු මෙන්ඩිස් මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට ජේම්ස් තොම්සන් (18) සහ නායක හැරී ටෙක්ටර් (9) ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම තවත් අසීරු තත්වයකට ඇද දැමුවේය.

ලකුණු 6 ක් ලබා සිටියදී ඉෂාන් ජයරත්නගේ පන්දුවක් හමුවේ ලෝකට් ටකර් දුන් උඩපන්දුවක් රැකගත් ෂෙහාන් ජයසූරිය, ඉන් මඳ වේලාවකට පසුව නීල් රොක්ගේ ඉනිම ලකුණු 6 කට සීමා කළේ ඉසුරු උදානයේ සහායද ඇතිවය. ඒ අනුව 6 වැනි කඩුල්ල බිඳ වැටෙන විට අයර්ලන්ත ‘ඒ’ ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් ලෙස සටහන් විය.

එතැන් පටන් මාක් ආදිර් (43) සමග එක්වූ ෂේන් ගෙට්කේට් (56) අයර්ලන්ත ‘ඒ’ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. පන්දු 40 කදී වාර්තා වූ ආදිර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 55 කදී වාර්තා වූ ගෙට්කේට්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ආදිර් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. ඉන් නොනැවතුණ සිරිවර්ධන දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් 35 වැනි ඕවරයේ පළමු, දෙවැනි සහ පස්වැනි පන්දුවලදී අවසන් කඩුලු 3 ම බිඳහෙළමින් අයර්ලන්ත ‘ඒ’ ඉනිමේ නිමාවට පත්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 337 ක් ලබා ගත්තේය. එහිදී පන්දු 112 කට මුහුණදුන් උපුල් තරංග, හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 103 ක් රැස්කළේය. අවිෂ්ක ප්‍රනාන්දු (55) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද තරංග සමත් විය.

ජේම්ස් කැමරන්ගේ පන්දුවක් හමුවේ ලෝකන් ටකර් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක දැවීයෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 45 කදී වාර්තා වූ අවිෂ්කගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත විය. අවිෂ්කගේ දැවී යෑමෙන් අනතුරුව ෂෙහාන් ජයසූරිය (13) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 50 ක්ද, ඇන්ජලෝ පෙරේරා (නොදැවී 72) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 61 ක්ද එක්කළ තරංග, කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

මුලු ලකුණු සංඛ්‍යාව 197 ක් වන විට ගැරීත් ඩෙලනිගේ පන්දුවක් හමුවේ ජේම්ස් කැමරන් අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස තරංග පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි මිලින්ද සිරිවර්ධනට මුහුණදීමට හැකි වූයේ පන්දු 3 කට පමණි. පළමු තරගයේදී ශතකයක් ලබාගත් මිලින්ද, මෙම තරගයේදී පීටර් චේස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණි.

කෙසේ වුවත් 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් (76) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 85 කදී ලකුණු 128 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. පන්දු 62 කට මුහුණදුන් ඇන්ජලෝ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 50 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය.

 

 

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ 2-0 කින් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.