Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 2-1 තරගාවලි ජයක්

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 2-1 තරගාවලි ජයක්

Nisanka Sandeepani - 2017 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෙහාන් ජයසූරියගේ (60/6) සහ මාලින්ද පුෂ්පකුමාරගේ (19/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ කිංග්ස්ටන්හිදී පැවැති තෙවැනි සිවුදින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත්විය.

ඒ අනුව තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

පෙරේදා (27 වැනිදා) දෙවැනි දිනය සදහා තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් රැස්කර සිටි අතර ඊයේ දිවා ආහාරයෙන් පසුව කඩුලු 9 ක් දැවී ලකුණු 273 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ධනංජය ද සිල්වා (64) සහ රොෂේන් සිල්වා (නොදැවී 52) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 92 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට සියලු දෙනාදැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි. පිටදඟ පන්දු යවන ශෙහාන් ජයසූරියගේ පන්දු යැවිම හමුවේ අසරණවු කොදෙව් ‘ඒ’ පිතිකරුවන් එකිනෙකා දැවීයන විටදී තනි සටනක නිරතවූ නායක ශමාර් බෲක් අර්ධ ශතකයක් (52) ලබාගැනීමට සමත්විය.

පිතිකරුවන්හට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදුන් ශෙහාන් ජයසූරිය මුල් පිතිකරුවන් හය දෙනා ලකුණු 60 කට දවාගත් අතර අවසන් පිතිකරුවන් හතරදෙනා ලකුණු 19 කට දවාගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත්විය. තරගයපුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ශෙහාන් ජයසූරිය ලකුණු 101 කට කඩුලු 8 ක් දවාගත් අතර මාලින්ද පුෂ්පකුමාර ලකුණු 86 කට කඩුලු 8 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 27 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවි තරගය පහසුවෙන්ම ජයගැනීමට සමත්විය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 2-1 තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.