Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකාව තරගාවලියේ වාසිය මිට මොළවාගනී

ශී‍්‍ර ලංකාව තරගාවලියේ වාසිය මිට මොළවාගනී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදි අද (7 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලූ 6 ක විශිෂ්ට ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3 ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ වාසිය මිට මොළවා ගත්තේය.


තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට 3 -1 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින අතර එංගලන්ත පිල මෙම තරගාවලිය ජයගැනීමට නම් ඉතිරි තරග තුනම ජයගත යුතුය. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරගාවලිය ජයගැනීමට අවශ්‍ය වන්නේ තවත් එක් ජයක් පමණි.

ලකුණු 266 ක ඉලක්කයක් කරා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා අවසන්  ඕවරයේදී ලකුණු 4 ක් ලබාගත යුතු වූවත් එහි පළමු පන්දු 3 ටම ලබාගත හැකිවූයේ ලකුණක් පමණි. මෙම තත්ත්වය ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට ඊයේ රැුස්වූ නරඹන්නන් 25,000 කට අධික පිරිස ඇඟිළි තුඩු මතින් සිටවීමට කාරණාවක් වූ නමුත් ඇන්ජලෝ මැතිව්ස්ගේ පහරකින් මිඞ් විකට් කලාපය හරහා ඇදී ගිය පන්දුව නවතා ගැනීමට කි‍්‍රස් ජෝර්ඞ්න්ට නොහැකි වීමෙන් තරගාවලියේ වාසිය ශී‍්‍ර ලංකා පිල වෙතට හැරිණ.


පිතිකරුවන්ගේ ප‍්‍රහාරක  ඕවර 5 ගනුදෙනුව ප‍්‍රවේසමෙන් බේරා ගත් ශ‍්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව  ඕවර 40 නිමා වන විට කඩුලූ 3 ක්  දැවී 208 ක් විය.
එයින් ලකුණු 6 කට පසුව සංගක්කාරත් දැවී ගිය නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 53 ක් රැුස්කළ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 51) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 19) එක්ව, ස්ටීව් ෆින් විසින් යවන ලද  ඕවරයකදී ලකුණු 15 ක් ලබාගනිමින් පීඩනයෙන් මිදුණහ. අනතුරුව නායක සහ උපනායක දෙපළ, අවසන් මොහොතේ අණුවන කම් නොකිරීමට වගබලාගනිමින්, ඉතා ක‍්‍රමාණුකූලව සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.


නැවත වරක් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 105 කදී ලකුණු 86 ක් ලබාගනිද්දී එංගලන්ත පන්දු යවන්නන් අන්ද මන්ද කරමින් ලකුණු සොරාගත් මහේල ජයවර්ධන, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ පදනමට සවිමත්ව ඇතිරීය.


සංගක්කාරගේ  ‘ඕෆ් ඩ‍්‍රයිව්‘ පහරකින් මෙන්ම මහේලගේ ‘ඔන් ඩ‍්‍රයිව්‘ පහරකින් පන්දුව ඇදීගියේ පන්දු යැවූ කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ අත පොවන මානයෙනි. එහෙත් මෙම තනි ලකුණ නැවැත්වීම සඳහා පිටියේ කී‍්‍රඩකයන් ස්ථානගත කිරීමේ වෙනස් කම් කළහොත් එයින් විශාල පරතර නිර්මාණය වන බව දුටු එංගලන්ත නායකයා විපිළිසරව සිටියදී සංගක්කාර සහ මහේල දෙදෙනා එතැනින්ම ලකුණු ලබාගත්හ.


අර්ධ ශතකය පෙනි පෙනී මහේල දැවී ගිය නමුත් සංගක්කාරගේ ලකුණු 86 චිත්තාකර්ශනීය හතරේ පහර 7 කින් අලංකෘත විය. මෙය සංගක්කාරගේ 90 වැනි එක්දින අර්ධ ශතකයයි. එක්දින තරග වල අර්ධ ශතක ලබාගැනීමේදී සංගක්කාරට ඉදිරියෙන් සිටින්නේ එක්දින අර්ධ ශතක 96 ක් ලබාගත් සචින් තෙන්ඩුල්කාර් පමණි.


පිතිකරුවන්ගේ ප‍්‍රහාරක  ඕවර 5 දී ශ‍්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 23 ක් පමණක් වූවද එම කාලය තුළ කඩුලූ රැුක කරගැනීමට ශ‍්‍රී ලාංකිකයෝ පරෙස්සම් වූහ. එංගලන්ත පිලද පිතිකරුවන්ගේ ප‍්‍රහාරක  ඕවර 5 දී ලබාගත්තේ ලකුණු 23 ක් පමණක් නමුත් එහිදී කඩුලූ 2 ක් බිඳ වැටිණ. එංගලන්ත පිලේ අවසන් කඩුලූ 7 ම ලකුණු 95 ක් තුළදී බිඳ වැටීමේ ආරම්භයද එයයි.

හීන් සීරුවේ ඉහළ ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිලේ අවසන් කඩුලූ 7 ම ලකුණු 95 කට බිම දැමූ ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ 50 වැනි  ඕවරය නිමා වන විට එංගලන්ත ඉනිම ලකුණු 265 කින් නතර කළහ.

50 වැනි  ඕවරය ආරම්භ වීමට පෙරම ලකුණු 247 කට කඩුලූ 9 ක් දැවී සිටි එංගලන්ත පිල වෙනුවෙන් පිතිහරඹයට ඉතිරිවී සිටියේ මෙම තරගයේදී තාවකාලිකව නායකත්වය බාරගත් ඔයින් මෝගන් සහ අවසන් පිතිකරු ස්ටීව් ෆින් පමණි. අවසන්  ඕවරය යැවූ තිලකරත්න ඩිල්ෂාන්ගේ පළමු පන්දු දෙකටම දැවැන්ත හයේ පහර දෙකකින් සංග‍්‍රහ කළ මෝගන් එම  ඕවරයේදී ලකුණු 18 ක් උදුරා ගනිමින් එංගලන්ත පිල ලකුණු 265 ක් දක්වා ඔසවා නොතබන්නට මෙම තරගය මීට වඩා වේලාසනින් නිමවනු නිසැකය.

පන්දු 47 කට මුහුණ දුන් මෝගන් සිය ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 3 කින් සැරසූයේ නිත්‍ය නායක ඇලිස්ටෙයාර් කුක් නැති කණ්ඩායමේ සියලූ බර කරට ගනිමිනි. කුක්ගේ ස්ථානය ගත් ජේම්ස් ටේලර්, තමාගේ තුන්වැනි එක්දින තරගයට ක‍්‍රීඩා කරමින් සිටියද සිය ශතකය පෙනි පෙනී ලකුණු 90 ක් ලබා දැවී ගියේය. ශ‍්‍රී ලංකා පිල හමුවේ හැමදාමත් සාර්ථක ක‍්‍රීඩකයකු වන රවී බොපාරාටද ලබාගත හැකිවූයේ ලකුණු 22 ක් පමණි.

අවසානයේදී එංගලන්ත පිලට 50 වැනි  ඕවරයට මුහුණ දීම සඳහා තම කඩුලූ රැකගැනීමටත් සිදුවූයේ තණතීරුවේ පැවැති මන්දගාමී ස්වභාවයෙන් කදිම ප‍්‍රයෝජන ලබාගත් දඟ පන්දු යවන්නන් වූ අජන්ත මෙන්ඩිස් (56/3), රංගන හේරත් (36/3) සහ තිලකරත්න ඩිල්ෂාන් (64/3) කඩුලූ 9 ක් බෙදාහදා ගත් බැවිනි. එසේ වුවත් එංගලන්තය අනුගමනය කළේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාමාර්ගයකි.


දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් ලෙසින් වසර ගණනාවක සිටම කීර්තියක් උසුළන ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයට එංගලන්ත පිලේ දැනට සිටින දක්‍ෂතම දඟ පන්දු යවන්නා වන ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් කී‍්‍රඩා නොකළේය. අවස්ථානුකූල දඟ පන්දු යවන්නන් වූ මුයින් අලී සහ ජෝ රූට් දෙදෙනා යැවූ  ඕවර 16 දී ශී‍්‍ර ලංකා පිතිකරුවෝ ලකුණු 73 ක් උදුරා ගත්හ.


කෙසේ වෙතත් මෙම තරගයේදී පන්දු යවන්නන් යොදා ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායකයා අනුගමනය කළ බුද්ධිමත් ක‍්‍රියාමාර්ගය නිසා 40 වැනි  ඕවරය නිමා වන විටත් මැතිව්ස්, අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් තිදෙනාටම  ඕවර 12 ක් ඉතිරි වී තිබිණ.

දෙපිල අතර පස්වැනි තරගය ලබන බදාදා (10 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (1)

ශී‍්‍ර ලංකාව තරගාවලියේ වාසිය මිට මොළවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.