Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගා, මහේල සාර්ථකත්වය වැදගත් - මාවන්

සංගා, මහේල සාර්ථකත්වය වැදගත් - මාවන්

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (11 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච්හිදී හැග්ලි ඕවල් පිටියේදී පැවැත්වෙන පළමු එක්දින තරගය, 2015 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරග දෙකින් එකක පූර්ව දර්ශනයක් වැන්නකි. කෙසේ වෙතත් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ සාර්ථකත්වය සඳා පවතින්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා සාර්ථක වීම මත බව ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු මහතා කියයි.

ලබන මස 14 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදීත් නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදීත් ආරම්භ වන ලෝක කුෂලාන කි‍්‍රකට් තරගාවලියේ එක් සමාරම්භක තරගයක් වන්නේ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි  ඕවල් පිටියේදීම පැවැත්වෙන තරගයයි.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ටෙස්ට් තරගාවලියේදී කී‍්‍රඩා නොකළ මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග තිදෙනාම එක්දින තරගාවලියේදී කණ්ඩායමට එක්වන නමුත් ලසිත් මාලිංග හෙට තරගය සඳහා කී‍්‍රඩා කිරීම සැක සහිතය.

අන්තර්ජාතික එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ කුමාර් සංගක්කාර 4 වැනි ස්ථානයේත් සහ තිලකරත්න ඩිල්ෂාන් 7 වැනි ස්ථානයේත් සිටිති. හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනාට ඇතුළත්ව සිටින නමුත් කේන් විලියම්සන්ට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

එක්දින පිතිකරුවන් අතරේ ඇන්ජලෝ මැතිව්ස් 12 වැනි ස්ථානයේත් මහේල ජයවර්ධන 23 වැනි ස්ථානයේත් සිටිති.

ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන් අතර සිවුවැනි සහ පස්වැනි ස්ථානයේ සිටින කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාගේ සාර්ථකත්වය එක්දින තරගාවලියේදී තමන්ට ඉතාමත් වැදගත් බව ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තු මහතා කියයි.

”අවුරුදු ගණනාවක් තිස්සේ මේ දෙන්නා ඉතාමත් ඉහළ තරග මට්ටමක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ නිසා ඔවුන් දෙස බලා සිටින තරුණ කී‍්‍රඩකයන් පවා ඔවුන් දෙදෙනාගෙන් යමක් උකහාගෙන, ධෛර්යවත්ව ඉදිරියට යනවා”

”මේ පිතිකරුවන් දෙදෙනාගේ සාර්ථකත්වය අපට ඉතාමත් වැදගත්” යයි මාවන් අතපත්තු පැවසීය.

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 7 ට අමතරව ලබන මස මුලදී පාකිස්තානු පිලට එරෙහිව තවත් එක්දින තරග දෙකක් පැවැත්වෙන හෙයින් නවසීලන්ත සංචිතයේ කී‍්‍රඩකයන්ට විවේකය දෙමින් තරග සඳහා යෙදවීමට නවසීලන්ත තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මෙම තත්ත්වය අනුව හෙට තරගයේදී ටිම් සවුති සහ රොස් ටේලර් දෙදෙනාත් සමග කයිල් මිල්ස්ද නවසීලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා නොකරනු ඇත. සවුතී සහ රොස් ටේලර් විවේක ගන්වා ඇති අතර කයිල් මිල්ස් තවමත් සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා නැත.

”සෑම කී‍්‍රඩකයකුටම සමාන අවස්ථා ලබාදීම අපේ අපේක්‍ෂාවයි. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේදී අප කී‍්‍රඩකයන්ගෙන් බලාපොරොත්තු වන දේම මේ තරග වලදීත් ඔවුන්ගෙන් දැකගැනීමට අප සූදානමින් සිටිනවා” යයි නවසීලන්ත පිලේ පිතිහරඹ පුහුණුකරු ක්‍රෙග් මැක්මිලන් මහතා පවසයි.

ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම 2-0 කින් පරාජය කිරීමෙන් පසුව ජයග‍්‍රාහී මානසිකත්වයෙන් ඔද වැඞී සිටින නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව නැවතත් බ්‍රෙන්ඩන් මැකලම්ට පවරා තිබේ. මැකලම්ගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙසින් මාටින් ගප්ටිල් කටයුතු කරනු ඇත.

මේ අතර නවසීලන්තයේ සිටින පළපුරුදුම කී‍්‍රඩකයා වන ඩැනියෙල් විටෝරි පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට කිසියම් අවධානයක් දිනාගැනීමට උවමනා කරන්නේ නම් මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් ලබාගත යුතු බවයි.

”හැමෝම නවසීලන්ත කණ්ඩායම ගැන කතාකරන්න පටන් අරගෙන. ඒත් ඒ කතාබහට වටිනාකමක් එක්කරන්න නම් අපට මෙම (ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන) තරගාවලියේදී විශාල ජයක් ඕනෑ කරනවා”  

”අපේ අය මෙන්න මේ දේ ගැන හොඳින් හිතේ තියාගත්තොත් හොඳයි. නැත්නම්, අපි හැමදාමත් කළා වගේ, නිකම්ම නිකම් ලෝක කුසලාන තරගාවලියකට ගිහින් වැඩක් නෑ. ලෝක කුසලාන තරගාවලියකට යන්න ඕනෑ සියලූම කී‍්‍රඩකයන් ඉතාමත් හොඳින් දස්කම් දක්වන තත්ත්වයක් ඇතිකරගෙනයි” යයි සිය පස්වැනි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටින විටෝරි සෙනසුරාදා (අද) පැවසීය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ උණුසුම රඳා පවතින්නේ කුමාර් සංගක්කාර සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් දෙදෙනාගේ ද්වන්ධ සටන මතය. ටෙස්ට් තරගාවලියේ ඉනිම 4 න් 3 කදීම ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දු යැවී හමුවේ සංගක්කාර අඩු ලකුණු වලට දැවීගියේය.

 


අදහස් (1)

සංගා, මහේල සාර්ථකත්වය වැදගත් - මාවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.