Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා - පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු කළ යෝජනාවක් තමන් ප්‍රතික්ෂේප කළ බව පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් හෙළිදරව් කර තිබේ. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක නිලධාරීන්වත් දැනුම්වත් කිරීමටද පාකිස්තානු නායකයා පියවර ගෙන ඇත.
සර්ෆ්‍රාස් අහමඞ්ගේ මෙම හෙළිදරව්වත් සමගින් පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙන්ම මෙම තරගාවලියට අනුයුක්තව සිටින දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීහුද මහත් තිගැස්මට පත්ව සිටිති. ඔවුන්ගේ මෙතෙක් පැවැති විශ්වාසය වූයේ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ ඉල්ලීම් අනුව තරග කළ සර්ජීල් ඛාන් සහ කාලිඞ් ලතීෆ් දෙදෙනාට පැනවූ තහනම හේතුවෙන් මෙවන් උත්සාහයන් නතර වී ඇති බවකි.
“මේ වෙනකොට ඒ සම්බන්ධ නියමිත ක්‍රමවේදය අනුව කටයුතු සිදුවෙනවා. ඒ කෝක වුණත් අපි සර්ෆ්‍රාස්ට අති විශාල ගෞරවයක් පුද කළ යුතුයි. ක්‍රීඩකයකු වශයෙනුත්, විශේෂයෙන්ම නායකයකු වශයෙනුත් එවැනි උත්සාහයන් වළක්වාගන්නේ කෙලෙසද, ක්‍රීඩාවේ ගෞරවය රැකගන්නේ කෙලෙසද කියා සෙසු ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලෙසින් කටයුතු කරලා තියෙනවා” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
“සාමාන්‍ය වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති අනුව බුකිකරුවන් සම්බන්ධවීමට උත්සාහ කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයන් කවුරුන්ද කියා හෙළිදරව් කිරීමට අපට අවසර නෑ. ඒත් ඇත්ත තත්ත්වය නම් සර්ෆ්‍රාස්ට කිසියම් තෑග්ගක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එකයි. ඒත් එයා ඒ වෙලාවදිම අදාළ නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කළ නිසා ඔවුන් අවශ්‍ය පියවර අරන් තියෙනවා” යයිද නම හෙළිකිරීමට අකමැතිවූ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා පැවසීය.
පාකිස්තානු නායකයාට මෙම තෑග්ග (දීමනාව) ඉදිරිපත් කළ තැනැත්තා ඩුබායිහි ජීවත්වන අයකු වන අතර පාකිස්තානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද ඔහුව හොඳින් හඳුනන බවත් කියැවේ.
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් නිලධාරියකු පවසා සිටියේ පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමසිලිමත්වීම වඩාත් දැඩිකර ඇති අතරම ඔවුන් පිටතට යන එන වේලාවන් වෙනස්කර ඇති බවයි.
පාකිස්තානු පිලේ පුහුණුකරු මිකී ආතර් මහතාගේ තදබල ඉල්ලීමක් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු ක්‍රීඩකයන්ට තරමක නිදහසක් හිමිවී තිබිණ. එබැවින් තම තමන්ගේ මිතුරන් හමුවීමටත්, සාප්පු සවාරියේ යාමට සහ නිදහසේ රාත්‍රී ආහාර සඳහා යාමටත් පාකිස්තානු ක්‍රීඩකයන්ට අවසර ලැබී තිබිණ. එහෙත් මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩකයන්ගේ නිදහස සීමාකර තිබේ.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී බුකිකරුවන්ගේ උවමනා එපාකම් අනුව ක්‍රීඩා කිරීම හේතුවෙන් සර්ජීල් ඛාන් සහ කාලිඞ් ලතීෆ් දෙදෙනටම තරග තහනම් පනවන ලද අතර එයින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට මරු පහරක් වැදුණේය. පසුව පාකිස්තානු ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලය වෙනස් කිරීමටද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
- ද ස්පෝට්ස් ස්ටාර් ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.