Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සේනානයක ගැන එංගලන්තය විමසිල්ලෙන්

සේනානයක ගැන එංගලන්තය විමසිල්ලෙන්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A


 

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 7 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සචිත‍්‍ර සේනානායක කී‍්‍රඩා කරන්නේද නැද්ද යන්න පිළිබඳව එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම බලවත් උනන්දුවකින් පසුවෙයි.

ඔවුන්ගේ මෙම උනන්දුව පසුබිමේ ඇත්තේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන තරගාවලිය ජයගැනීමට සචිත‍්‍ර සේනානායක තමන්ට බාධකයක් වේද යන කාරණාව නොව, ලබන වසරේදී පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව සචිත‍්‍රට ලැබීම පිළිබඳවය.

එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය අද සවස් වන තුරුත් නම්කර නොතිබිණ. කෙසේ වෙතත් එහි පළමු තරග දෙක තුන වෙනුවෙන් සචිත‍්‍ර සේනානායක ඇතුළත් නොකෙරෙනු ඇත. එංගලන්ත කී‍්‍රඩකයන්ගේ විචිකිච්ඡව වී ඇත්තේ තරගාවලිය අතර මැදදී ඔහු කණ්ඩායමට එක්වේද නැද්ද යන්නයි.

එංගලන්තයේදී පැවැති එක්දින තරගාවලියේදී පන්දුව දමා ගසන්නේය යන චෝදනාවට ලක්වූ සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්‍ෂණයක් සඳහා ඔහුව එංගලන්තයේම කාඞීෆ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක් වෙත යොමු කෙරිණ.

එහිදී කරන ලද පරීක්‍ෂණ වලින් හෙළිදරව් වූයේ සචිත‍්‍ර සේනානායක පන්දු යැවීමේදී අංශක 43 ක් අත නවන බවයි. එහෙත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීතිරීති අනුව පන්දු යැවීමේදී පන්දු යවන්නකුට උපරිම වශයෙන් අත නැමිය හැකි ප‍්‍රමාණය අංශක 15 කි.

ඉන් අනතුරුව සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට උත්සුක වූ සචිත‍්‍ර සේනානායක, මානව චලිතය පිළිබඳ විශේෂඥයකු වන වෛද්‍ය ඩැරිල් ෆොස්ටර් මහතා සමගින් බටහිර  ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයේදීත්, පසුව ශී‍්‍ර ලංකා පුහුණුකරුවන් වූ ජෙරම් ජයරත්න සහ පියල් විජේතුංග යන මහත්වරුන් සමගත් එක්ව කටයුතු කළේය.

”මේ වන විට අපි එයා වෙනුවෙන් කරන්න පුළුවන් සියලූම දේ කරලා ඉවරයි. අපි සියලූ දෙනාම සෑහීමට පත්වන තරමට සචිත‍්‍ර එයාගේ පන්දු යැවීමේ ඉරියව්ව හදාගෙන තිබුණත් සියලූ දේ රඳා පවතින්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිර්දේශිත පර්යේෂණායතනයකින් එන වාර්තාව මතයි” යයි ජෙරම් ජයරත්න මහතා අද (23 වැනිදා) සවස ලංකාදීපට පැවසීය.

සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමේ සියලූ උත්සාහයන් සහ කි‍්‍රයාමාර්ග වලට මුහුණ දුන් සචිත‍්‍ර සේනානායක එහි අවසන් පරීක්‍ෂණය සඳහා ඉකුත් සති අන්තයේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් සිටියේය. පරීක්‍ෂණය නිමවා ඔහු අද (23 වැනිදා) රාති‍්‍රයේම නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය තිබිණ. මෙම පරීක්‍ෂණයේ වාර්තාව දින 14 ක කාලයක් ඇතුළතදී නිකුත් කළ යුතුය.

ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ චෙන්නායි නුවරදී පැවැත්වෙන පරීක්‍ෂණය සමත්වීමට තරම් සචිත‍්‍ර සිය පන්දු යැවීම දියුණු තත්ත්වයකට පත්කරගෙන ඇති බවයි. සචිත‍්‍රට මෙම පරීක්‍ෂණය සමත්විය හැකිවුවහොත් ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලියේ අවසන් එක්දින තරග තුනට හෝ හතරට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සචිත‍්‍රයේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි මට්ටමේ තිබේද යන්න පරීක්‍ෂා කිරීමට අවශ්‍ය තරමේ පහසුකම් ශී‍්‍ර ලංකාවේ නොමැති හෙයින් ඒ සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අනුමැතිය ලත් පර්යේෂණායතනයක් වෙත යා යුතුය. එහෙත් අදාළ මධ්‍යස්ථානය තෝරා ගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතුව පවතී.

එංගලන්තයේ කාඞීෆ් සහ ලෆ්බරෝ යන නගර වලත්,  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් විශ්ව විද්‍යාලයේ සහ ඉන්දියාවේ චෙන්නායි නුවරදීත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්‍ෂණ කිරීමේ පහසුකම් තිබේ. කෙසේ වෙතත් මෙම පරීක්‍ෂණ මුලින්ම කළ බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයේ ක‍්‍රමවේද සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එකගතාවක් නැත. මුත්තයියා මුරලිදරන් පරීක්‍ෂණයට මුහුණ දුන්නේද බටහිර  ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යායේදීය.

සිය පන්දු යැවීම නැවත සකස් කරගැනීමෙන් පසුව පසුගියදා නිමාවූ වෙළෙඳසේවා කි‍්‍රකට් තරගාවලියට සහභාගි වෙමින් නැවතත් කි‍්‍රකට් පිටියට පැමිණි සචිත‍්‍ර සේනානායක පසුගිය 9 වැනිදා පැවැති එම තරගාවලියේ අවසන් මහ තරගයේදීත් කී‍්‍රඩා කළේය. වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලිය යනු ජාතික කණ්ඩායමේ වැඩිම කී‍්‍රඩකයන් පිරිසක් කී‍්‍රඩා කරන, ශී‍්‍ර ලංකාවේ වැඩිම තරගකාරීත්වයෙන් යුත් තරගාවලියයි.

 


අදහස් (7)

සේනානයක ගැන එංගලන්තය විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.