Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්

සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (17 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.

අවසන් ඕවර 10 දී සිම්බාබ්වේ පිල ලබාගත් ලකුණු 76 සිම්බාබ්වේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය විය.

සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අවසන් ඕවර 10 තුළදී ලකුණු 76 ක් ලබාගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ. එම කාලය ඇතුළත ඔවුන්ට අහිමි වූයේ කඩුලු 2 ක් පමණි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉනිමේ 40 වැනි ඕවරයෙන් පසුව ලබාගත හැකිවූයේ ලකුණු 43 ක් පමණි.

ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත දුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය. සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. ලකුණු 57 දී සොලමන් මීරේට ලබාදුන් උඩපන්දුව සහ ලකුණු 77 දී පන්දු යැවූ ග්‍රේඒම් ක්‍රීමර් අතට නැවතත් දුන් උඩපන්දු ගිලිහියාම හේතුවෙන් කුසල් පෙරේරාට කඩුල්ලේ රැඳී සිටීමට දෙවතාවක්ම වාසනාව උදාවිය.

මුළු ලකුණු සංඛ්‍යාව 181 ක් වනවිට ඇන්ජලෝ මැතිව්ස් (42) සිවුවැනි වැනි කඩුල්ල ලෙසත් දිනේෂ් චන්දිමාල් (34) පස්වැනි කඩුල්ල ලෙසත් දැවියාම නිසා ශ්‍රී ලංකාව දැඩි අසීරූතාවයට පත්විය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙර කයිල් ජාවිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලිම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කළ අතර ඊට එකඟ නොවූ සිම්බාබ්වේ නායකයා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ල ඉහළින් ඇදී යන අයුරු දිස්විම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් මැතිව්ස් දැවී නොගිය පිතිකරුවකු ලෙස නම් කළේය. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදයේ අවස්ථාව අහිමිව ගියේය.

දිනේෂ් චන්දිමාල් දැවීයාමෙන් පසුව හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලෙන් ගිලිහෙමින් තිබුණු තරගයේ ජයග්‍රහණය පිළිබඳව යළිත් බලාපොරොත්තු ඇති කිරීමට සමත්විය. අවසන් මොහොත වනතෙක් කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරතවූ තිසර පෙරේරා දැවීයන විට පන්දු 37 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

ලකුණු 10 ක් ලබා සිටියදි අකිල ධනංජය යැවූ පන්දුවකට කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස නම් කළද ඉන් සැහිමකටෙ පත්නොවූ බ්‍රෙන්ඩන් ටේලර් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ යම්තමින් ගෑවී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් දැවී නොගිය පිතිකරුවකු ලෙස නම් කළේය.

සිය 32 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 58 කදී ලබාගත් හැමිල්ටන් මසකඞ්සා ලකුණු 73 කදී පිටියෙන් ඉවත් කිරීමට අසේල ගුණරත්න සමත්විය. අතිරේක ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලබාදුන් උඩපන්දුව රැකගැනිම නිසා දැවීගිය හැමිල්ටන් මසකඞ්සා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සීකන්දර් රාසා සිම්බාබ්වේ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක වෙමින් පන්දු 67 කදී ලකුණු 81 ක් නොදැවී රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර අටකින් අලංකාර විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

 

 

 


අදහස් (0)

සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.