Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්

හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්නා බව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියයි. බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවාද වන හතුරුසිංහ මහතා බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශයට යාමෙන් පසුව පැවැති පළමු වැනි පුවත් පත් සාකච්ඡාවේදී එසේ කියා සිටියේය. 

“ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩාක් දියුණු වෙන්න තියෙනවා” යයි කී හතුරුසිංහ මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එම අභියෝග ජයගත හැකිවෙතැයි සුබවාදීව පසුවෙයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙන්ම ක්‍රීඩක සංයුතියද බරපතළ වෙනස්කම් වලට ලක්කර තිබේ. 

“මේ අභියෝගය බාරගත්තේ ඉතාමත් උද්යෝගයෙන්. මගේ වර්තමාන කණ්ඩායම සතු දස්කම් සම්බන්ධයෙන් මම මහත් උද්යෝගිමත් ස්ථාවරයක සිටිනවා” යයිද 49 වියැති හතුරුසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය අද (15 වැනිදා) ආරම්භ විය. එහි පළමු තරගය බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය 17 වැනිදා (බදාදා) පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය 19 වැනිදා පැවැත්වෙයි. 

වත්මන් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව බංග්ලාදේශය කණ්ඩායම ප්‍රසාද ලකුණු 92 ක් සමගින් 7 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු 88 ක් පමණක් හිමි ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටී. එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ පහළින් සිටි බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමේදී ඒ වෙනුවෙන් කණ්ඩායමට ගුරුහරුකම් දුන් පුහුණුකරුවා චන්දික හතුරුසිංහ මහතාය. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තුනම සමකරගැනීමටද බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. 

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ පහළ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය වසරේදී මුහුණ දුන් පරාජයන් වැලයි. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2017 දී මුහුණ දුන් එක්දින තරග 29 න් ජයගත හැකිවූයේ තරග 5 ක් පමණි. එය වසර 1987 න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් වඩාත්ම අභාග්‍යසම්පන්න වර්ෂය 2017 ලෙසින් සැලකේ. 

තමන්ගේ පැරණි කණ්ඩායම වූ බංග්ලාදේශ පිල වෙනුවෙන් තවමත් ලැදියාවක් තිබේද යන්න කළ විමසීමේදී “එහෙම එකක් නෑ” යයි කී හතුරුසිංහ මහතා තුන්කොන් තරගාවලිය සම්බන්ධයෙන් බංග්ලාදේශ පිලට සුබ පැතුවේය. 

“මා ඔවුන් එක්ක ළඟින් වැඩ කරලා තියෙනවා. මා ඔවුන්ව හොඳින් දන්නවා. ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරග කරනවා දකින්න මට අවශ්‍යයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය. 

මේ අතර ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ නැවතත නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. 
“මා එය නැවත බලාපොරොත්තු වුණේ නෑ. ඒත් දැන් මම ඒ අභියෝග වලට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා” යයිද මැතිව්ස් පැවසීය. 
තරගාවලියේ සියලුම තරග මධ්‍යාහ්න 12.00 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 11.30 ට) ආරම්භ වේ.

 

- ඒ.එෆ්.පී ඇසුරිනි

 


අදහස් (1)

හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.