Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයවැනි එක්දින තරගය හෙට

හයවැනි එක්දින තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය දිවා තරගයක් ලෙස මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (13) පැවැත්වේ. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

එංගලන්ත පිල පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයෙදී පැවැති පස්වැනි තරගය ජය ලැබිමත් සමග ශ‍්‍රී ලංකාව ඉදිරියන් සිටියදී තරගාවලිය 3-2 ක් බවට පත්විය. ඒ අනුව නැවතත් තරගාවලිය විවෘත විය.

ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවහොත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව හිමිවේ. එංගලන්තය මෙම තරගයෙන් ජය ලැබුවහොත් 3-3 ක් ලෙස තරගාවලිය සම වන අතර ඒ අනුව කොළඹදී පැවැත්වෙන හත්වැනි තරගයෙන් ජය ලබන කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවේ.

පස්වැනි එක්දින තරගය අතිරේක දිනයේදීත් පැවැත්වීම නිසා කණ්ඩායම් දෙකම අද (12) නිල වශයෙන් පුහුණු සැසිවලට සහභාගි නොවීය.

අවසන් තරග දෙක වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ සීකුගේ ප‍්‍රසන්න සංචිතයට කැදවා සිටින අතර කුසල් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ළහිරු ගමගේ සහ අෂාන් ප‍්‍රියංජන් යන ක‍්‍රීඩකයන් සංචිතයෙන් ඉවත් කර තිබේ.
අජන්ත මෙන්ඩිස්ගෙන් හිස්වූ ස්ථානයට බොහෝ විට සීකුගේ ප‍්‍රසන්න ක‍්‍රීඩා කිරීමට ඉඩ ඇතැයි තේරීම් කමිටු සාමාජිකයකු පැවසීය.

”කුසල් නොමැතිවීමෙන් හිස්වන ආරම්භක පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කරන්නේ කවුද කියලා මේ දක්වා තීරණය කර නෑ. අපි එය හෙට පෙරවරුවේ තීරණය කරනවා” යැයි තේරීම් කමිටු සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.  

ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ කණ්ඩායමේ වෙනස් කිරීමට වඩා හෙට තරගය ජය ලබා තරගාවලියේ ජය තහවුරු කර ගැනීම ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව ඇති බවයි.

හෙට තරගය පිළිබදව නායක මැතිව්ස් වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
”අපේ දැන් ඉලක්කය මේ තරගය ජය ලබා තරගාවලිය ජය ලැබීමයි. පස්වැනි තරගය හැරෙන්නට පළමු තරග හතරේදීම දග පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වා. මම හිතන්නේ මේ තරගයේදී දග පන්දු යවන්නන් දස්කම් අතරට එයි”

”අපි මේ තරගයේදී පරීක්‍ෂණ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අවසන් තරගයේදී ඒ අවස්ථාව ලැබෙයි. එංගලන්ත පිලෙන් පීඩනය වැඩි වන විට අපි තවත් හොදින් ක‍්‍රීඩා කරයි කියන විශ්වාසය මට තියෙනවා”

පස්වැනි තරගයේදී පිතිකරුවන්ගේ දස්කම් පිළිබදව සෑහීමට පත්වන්නේ දැඩි මැතිව්ස්ගෙන් කළ විමසුමේදී මෙසේ පැවසීය.

”කණ්ඩායමේ ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපේ පිතිකරුවන් හොදින් ක‍්‍රීඩා කළා. මොන කණ්ඩායම යොදා ගත්තත් ඔවුන්ගේ විශ්වාසය වැඩි කර හැකි උපරිමය ලබාගත යුතුයි”

ඩිල්රුවන් හෝ ලක්‍ෂාන් හෙට තරගයට ක‍්‍රීඩා කරනවාද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”ඩිල්රුවන්ව සංචිතයට ගෙනාවේ සචිත‍්‍ර නොමැති වුණොත් ක‍්‍රීඩා කරන්න. සචිත‍්‍ර නිදහස් නොවුණා නම් පස්වැනි තරගයට ඩිල්රුවන්ට ක‍්‍රීඩා කරන්න තිබුණා.

ලක්‍ෂාන් කියන්නේ අජන්ත මෙන්ඩිස් වගේ පන්දු යවන කෙනෙක්. ඔහු විශේෂයෙන්ම චයිනමන් පන්දු යවන්නෙක්, ඔහුට බොහෝ වෙලාවට අවස්ථාවක් ලැබෙයි. සාකච්ඡ කරලා එය තීරණය කරනවා”

එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පැවසුවේ තරගාවලිය ජය ලැබීමේ බලාපොරොත්තුවෙන් තම කණ්ඩායම සිටින බවයි.

”පස්වැනි තරගය දින දෙකක් පවත්වා අපි ජය ලැබුවා. ඉදිරි තරග දෙකේදීත් හොදින් ක‍්‍රීඩා කරමින් තරගාවලිය ජය ගන්න බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තියාගෙන ජය ලැබීම අපිට වැදගත් ඒ වගේම ජේම්ස් ටේලර් වගේ තරුණ ක‍්‍රීඩකයන් ලකුණු අතරට පැමිණ සිටිනවා” යැයි ඇලෙස්ටියාර් කුක් වැඩි දුරටත් පැවසීය.

මෙම තරගයට ද අනිද්දා (14) වැනිදා අතිරේක දිනයක් ලෙස යොදා ඇති අතර වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් හෙට තරගය නැවත පැවැත්වේ.


ශී‍්‍ර ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් රංගික, ධම්මික ප‍්‍රසාද්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ සීකුගේ ප‍්‍රසන්න

එංගලන්ත එක්දින සංචිතය:
ඇලිස්ටෙයාර් කුක් (නායක), මුයින් අලී, ඉයන් බෙල්, ජෝස් බට්ලර්, ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපරා, හැරී ගානී, ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් ටේලර්

 


අදහස් (1)

හයවැනි එක්දින තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.