Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයේ - හතරේ පහර වලින් කොළඹ පිල දිනයි

හයේ - හතරේ පහර වලින් කොළඹ පිල දිනයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. දෙපිලේම ලකුණු සමවීම නිසා එහිදී සුපිරි ඕවරයක් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර සුපිරි ඕවරයේ ලකුණු සංඛ්‍යාවද සමවීමෙන් තරගය නිමාවට පත්විය. 

 
තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා කණ්ඩායම් දෙක ලබාගත් හයේ සහ හතරේ පහර සංඛ්‍යාවේ එකතුව ගණනය කර බැලීමට සිදුවිය. එහිදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 19 ක් (එකතුව 26) ලබාසිටි කොළඹ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වූ අතර හයේ පහර 8 ක් සහ හතරේ පහර 17 ක් (එකතුව 25) පමණක් ලබා සිටීම නිසා මහනුවර කණ්ඩායම පරාජයට පත්විය. 

ජීවන් මෙන්ඩිස් යැවූ සුපිරි ඕවරයේදී මහනුවර කණ්ඩායමට පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. මහනුවර නායක දසුන් ශානක සහ තික්ෂිල ද සිල්වා මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. 
 
තරගය ජයගැනීම සඳහා ලකුණු 6 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගට සුපිරි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු ලබාගැනීමට ඉඩක් ලබානොදුන් ලසිත් මාලිංග, දෙවැනි පන්දුවේදී තරංගගේ කඩුල්ල බිඳ දැමීය. තෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් බවට පත්වුවද, ඉන් අනතුරුව යැවූ පන්දු හතර ලකුණු 4 කට (0,1,2,1) සීමා කිරීමට මාලිග සමත් විය. 
 
සුපිරි ඕවරය යැවීමට පෙර ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 188 ක් ලබාගනිමින් කොළඹ කණ්ඩායම හා සම තත්වයට පැමිණියේය. එහිදී පන්දු 36 කින් අර්ධ ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න (50) සමත් වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

භානුක රාජපක්ෂ (28) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තිරිමාන්න සමත් විය. පන්දු 20 කට මුහුණදුන් රාජපක්ෂ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු රැස්කළේය. ආරම්භයේදී වේගවත් පිතිහරඹයකක නිරත වූ තික්ෂිල ද සිල්වා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර නායක දසුන් ශානක පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක් රැස්කරමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය අසලටම ගෙන ආවේය. 

කොළඹ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් ජයසූරිය මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේම කඩුලු බිඳදැමූ අතර ඔහු සිවුවැනි පිකිරුවා ලෙස පිටියට පිවිසි සඳුන් විරක්කොඩි පිටියෙන් ඉවත් කළේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ සහායද ඇතිවය. පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් ලබා සිටි චරිත් අසලංක දැවී ගියේ ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව නායක දසුන් ශානකගේ කඩුල්ල බිඳ දැමීමටද මෙන්ඩිස් සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් රැස්කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂෙහාන් ජයසූරිය පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 63 ක් රැස්කිරීමට සමත් විය. උපුල් තරංග (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජයසූරිය, ඉන් නොනැවතී චතුංරංග ද සිල්වා (25) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොළඹ කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

කොළඹ ඉනිමේ අවසන් ඕවරය යැවූ ළහිරු ගමගේ එම ඕවරයේ තෙවැනි සහ සිවුවැනි පන්දුවලදී එකම ආකාරයකට ජයසූරිය සහ චතුරංග පිටියෙන් ඉවත් කරමින් කොළඹ කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය. කෙසේ වුවත් එම ඕවරයේ ඉතිරි පන්දු හතරේදී ළහිරුගෙන් ලකුණු 15 ක් උදුරාගැනීමට කොළඹ කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ. 

ඊයේ (21 වැනිදා) ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් ලබාගත් කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග, මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් හමුවේ තරමක් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත විය. මුල් ඕවර කිහිපය නිමා වීමෙන් අනතුරුව සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ තරංග, සෙසු ආරම්භක පිතිකරුවා වූ මහේල උඩවත්ත (15) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වීය. 

එම සම්බන්ධතාවට තිත තබමින් උඩවත්තගේ කඩුල්ල බිඳදැමූ චරිත් අසලංක, ඉන් පසුව පිටියට පිවිසි නායක චන්දිමාල්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන්නේය. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි භානුක රාජපක්ෂ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 8 ක් පමණි. පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් ලබා සිටියදී දසුන් ශානකගේ පන්දුවකට ගැසූ වේගවත් පහරකින් ඉහළින් ඇදීගිය පන්දුව උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගැනීමට ඩීප් මිඞ්ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි තික්ෂිල ද සිල්වා සමත් වීමත් සමග තරංගගේ ඉනිම නිමාවට පත් විය. 

මහනුවර කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක කුසල් පෙරේරා මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.  

ඊයේ (21 වැනිදා) ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමම අද තරගයටද සහභාගි වූ අතර ඊයේ දඹුල්ල කණ්ඩයමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් අද තරගයට සහභාගි විය. තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණට සහ වේග පන්දුයවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට අද තරගයේදී මහනුවර කණ්ඩායමේ ස්ථාන අහිමි වූ අතර ඔවුන් දෙදෙනා වෙනුවට වේග පන්දුයවන ක්‍රීඩකයන් වන ළහිරු ගමගේ සහ නිපුන් රංසික කණ්ඩායමට කැඳවා සිටියහ.  
 
ඡායාරූප - ළහිරු හර්ෂණ

අදහස් (0)

හයේ - හතරේ පහර වලින් කොළඹ පිල දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.