Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේරත් ගාල්ලේදී සමුගනී

හේරත් ගාල්ලේදී සමුගනී

Nisanka Sandeepani - 2018 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර සිටී. 

“මම හිතුවා දැන් වෙලාව හරි කියලා...ඒ නිසා මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළා” යයි වසර 19 ක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය රංගන හේරත් ලංකාදීපයට පැවසීය. මෙම වසර 19 ක කාලයේන් වසර 9 ක්ම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා විය. 

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් ප්‍රකාශ කර තිබිණ. එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට අද (22 වැනිදා) දැනුම් දුන්නේය. 

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීම වසර 1999 දී සිය ටෙස්ට් ගමන ඇරඹූ රංගන හේරත් එම තරගයේදී මුත්තයියා මුරලිදරන් (71/5) සමග එක්ව ලකුණු 97 කට කඩුලු 4 ක් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අමාරුවේ දැමීය. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 296 ට පිළිතුරු සොයා ගිය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වරෙක කඩුලු 2 කට ලකුණු 179 ක් ලබා සිටියද අවසන් කඩුලු 8 ම ලකුණු 49 කදී ඇද වැටිණ. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 68 ක වාසියක් සතුව සිටි නමුත් වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා හේරත්ගේ මංගල ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේය. 

මේ වන විට ටෙස්ට් තරග 92 කට සහභාගි වී සිටින රංගන හේරත් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 430 කි. ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේ සිටින රංගන හේරත්ට ගාල්ල තරගයේදී තවත් කඩුලු 4 ක් දවාගත හැකිවුවහොත් ලෝකයේ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නන් අතර හත්වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණිය හැකිය. 

මුත්තයියා මුරලිදරන් (800), ෂේන් වෝන් (708), අනිල් කුම්බල් (619), ජේම්ස් ඇන්ඩසන් (564), ග්ලෙන් මැග්‍රාත් (563), කර්ට්නි වෝල්ෂ් (519), කපිල් දේව් (434), ස්ටුවර්ට් බ්‍රෝඞ් (433) සහ රිචඞ් හැඞ්ලි (431) හේරත්ට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් දවාගත් ටෙස්ට් පන්දු යවන්නෝ වෙති. 

මේ වන විට 40 වැනි වියේ පසුවන රංගන හේරත් ටෙස්ට් තරග 5 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමටද ඉදිරිපත් වී තිබේ. වසර 2016 - 2017 වකවානුවේදි ශ්‍රී ලංකා පිල මෙහෙයවූ හේරත්ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 3 ක් ජයග්‍රහණය කර තිබේ. 

 

 


අදහස් (0)

හේරත් ගාල්ලේදී සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.