Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී

හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධයෙන් උද්ගතවී ඇති විවාදයේදී තමන්ගේ සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගැනීමට ප්‍රවීන ක්‍රීඩක රංගන හේරත් පසුබට නොවීය. තරගයෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් හමුවූ රංගන හේරත් එක හෙළාම කියා සිටියේ ඩිල්රුවන්ට ක්‍රීඩාගාරයෙන් කිසිම සංඥාවක් නොලැබුණ බවයි.

“ඒක හරිම සරල දෙයක්. වුණේ මේකයි”

“තවත් විතීවි අවස්ථා තියෙනවාද කියා මා නයිජල් ලොන්ග් (ප්‍රධාන විනිසුරු) මහතාගෙන් ඇහැව්වා. මා හිතන්නේ ඩිල්රුවන්ටත් ඒක ඇහෙන්න ඇති. ඒක නිසා එයා විතීවි අවස්ථාව ඉල්ලුවා” යයි රංගන හේරත් පැවසීය.

ක්‍රීඩාගාරයෙන් ඔහුට සංඥාවක් ලැබුණාද යන්න කළ විමසීමේදී හේරත් කීවේ තමන් එවැන්නක් නොදුටු බවයි.
“මම එවැනි දෙයක් දැක්කේ නෑ. මා සිටියේ විනිසුරුවරයා දෙස බලාගෙන” යයිද හේරත් පැවසීය.
කොල්කටා ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැනිදා) ශ්‍රී ලංකා ඉනිමේ 57 වැනි ඕවරයේදී මොහොමඞ් ශාමිගේ පන්දුවක් හමුවේ ඩිල්රුවන් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බව නයිජල් ලෝන්ග් මහතා විසින් තීරණය කරන ලදි. විනිසුරු තීරණය නොවිමසාම ඩිල්රුවන් පෙරේරා ආපසු ක්‍රීඩාගාරයට ඇවිද ගිය නමුත් හදිසියේම ආපසු හැරී විතීවි අවස්ථාව ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරයාට සිය තීරණය වෙනස් කිරීමට සිදුවූයෙන් කඩුල්ල රැකගත් ඩිල්රුවන් සහ රංගන හේරත් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවූහ. මෙම සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගියේය.

ඩිල්රුවන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් ඉන්දීය පිලෙන් පැමිණිල්ලක් ඉදිරිපත් නොකෙරුණ නමුත් තරගයේ විස්තර කථකයන් දිගින් දිගටම කියා සිටියේ ඩිල්රුවන්ට ක්‍රීඩාගාරයෙන් ආධාරයක් ලැබුණු බවයි. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඩිල්රුවන්ට ක්‍රීඩාගාරයෙන් කිසිම සංඥාවක් නොලැබුණ බවයි.

තමන්ගේ පිතිහරඹය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රංගන හේරත් කියා සිටියේ පළමු දින දෙකට සාපේක්‍ෂව තණතීරුවේ තත්ත්වය පිතිකරුවන්ට ඉතාම යෝග්‍ය තත්ත්වයට පැමිණ ඇති බවයි.

“දඟ පන්දු යවන්නෙක් හැටියට මට කියන්න බෑ මේ තණතීරුව විශිෂ්ට එකක් කියලා. මොකද මේකේ දඟ කැවීමක් නෑ. ඒත් සිවුවැනි ඉනිම වෙනකොට නම් දඟ කැවීම ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්” යයිද හේරත් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

 


අදහස් (0)

හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.