Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කරගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් තරග දෙකේදීම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවූ නමුත් පළමු තරග තුනම ජයගත් දකුණු අප්‍රිකානුවෝ 3-2 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්හ.
අද තරගයේදී දකුණු අප්‍රිකානුවන් මුහුණ දුන් ලකුණු 178 ක පරාජය දකුණු අප්‍රිකානු එක්දින ඉතිහාසයේ තුන්වැනි කටුකතම පරාජය වෙයි. මීට පෙරත්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ලකුණු 180 කට පරාජයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානුවන්ගේ වඩාත්ම ඛේදජනක එක්දින ඉරණම වන්නේ පාකිස්තානු පිල හමුවේ පෝර්ට් එළිසබෙත්හිදී ලද ලකුණු 182 ක පරාජයයි.
ලකුණු 300 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු පිල අකිල ධනංජය විසින් කරකවා අතහරින ලදි. පන්දු යැවීමේ වාර දෙකකදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගත් මෙම 24 හැවිරිදි දකුණත් දඟ පන්දු යවන්නා අද වාර්තා කළේ ඔහුගේ තරග 24 ක එක්දින දිවියේ හොඳම පන්දු යැවීමයි.
දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු ඕවරයේදීම සුරංග ලක්මාල් විසින් හසිම් අම්ලා දවාගත් හෙයින් පසුපාදයට වැටුණු දකුණු අප්‍රිකානු පිල වෙත එල්ල කළ පීඩනය වැඩිකළ ඇන්ජලෝ මැතිව්ස් අනෙක් අන්තයෙන් පන්දු යැවීම සඳහා අකිල ධනංජය කැඳවීය.
පිට දඟ පන්දු, පා දඟ පන්දු, ගුග්ලි මෙන්ම සිය ඇඟිළි උපයෝගී කරගනිමින් යවනු ලබන නොපිට කැපෙන පන්දු ආදී පන්දු මිශ්‍රණයකින් පිතිකරුවන් අමාරුවේ දමන අකිල ධනංජය හමුවේ දකුණු අප්‍රිකානුවෝ කට උත්තර නැතිව එකා පසුපස එකා දැවී ගියහ. ඕවර 5 ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 30 ක් වූ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව, අකිල ධනංජයගේ පළමු ඕවර 4 නිමා වන විට සටහන් වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 39 ක් ලෙසිනි. අකිල ධනංජය විසින් පන්දු 7 කදී කඩුලු 3 ක් දවාගන්නා ලදි.
ඉනිමේ 18 වැනි ඕවරයේදී නැවතත් පන්දුව ඉල්ලා ගත් අකිල ධනංජය පන්දු 4 කදී තවත් කඩුලු දෙකක් දවාගත්තේ දකුණු අප්‍රිකානුවන්ට තිබූ අවසන් බලාපොරොත්තුවත් කීතු කීතු කර ඉරා දමමිනි.
ෆෆ් ඩු ප්ලෙසි තුවාල ලැබීමෙන් පසුව දකුණු අප්‍රිකානු පිලේ තාවකාලික නායකයා වූ ක්වින්ටින් ඩි කොක් හුදෙකළා සටනක නිරත වූ නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 94 ක්ව තිබියදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ අඩක් ඉදිරියට ඇදීමෙන් සිය කඩුල්ල අහිමි කරගත්තේය. ඩි කොක්ගේ පිට ඉන්නට යාන්තම් එපිටින් පතිත වූ පන්දුව සෙමෙන් දඟ කැවී පිත්ත මඟහැර ගියද ඔහුගේ පිට ඉන්න මඟ හැර ගියේ නැත.
කාසියේ වාසිය දිනාගත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ තීරණය ප්‍රතිඵළ දායක විය. කල්පනාවෙන් නමුත් දුර්වල පන්දුව අත නොහැර ලකුණු රැස්කිරීමේ යෙදුණු මැතිව්ස්ගේ පරිණත පිතිහරඹය නිසා නියමිත ඕවර 50 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය.
පැය දෙකකට වැඩි කාලයක් පුරා පන්දු 97 කට මුහුණ දුන් මැතිව්ස්ගේ ඉනිම හතරේ පහර 11 කින් සහ දැවැන්ත හයේ පහරකින් සමන්විත වූවද ඔහුට ලබාගත හැකිව තිබූ අගනා ශතකයක් මඟහැරිණ. එක්දින ලකුණු 5000 ඉක්මවා රැස්කර ඇති මැතිව්ස් මේ දක්වා ලබා ඇත්තේ ශතක දෙකක් නමුත් සිව් වතාවක් ශතකය පෙනි පෙනී නතර වී තිබේ. එම අවස්ථා හතරෙන් දෙකක්ම ඔහු දැවී නොගිය පිතිකරුවා විය.
එක්දින තරග වලදී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු මත තරග කිරීමට තීරණය කිරීමෙන් පසුව පැවැති තරග දෙකේදීම සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ශ්‍රී ලංකා නායකයා කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සමගින් එක්ව හොඳ සම්බන්ධතා ගොඩනඟමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව දෙසට තල්ලු කරගෙන ගියේය. අවසන් ඕවරයේදී දසුන් ශානක දැවී නොගියා නම් ලකුණු 300 ඉලක්කය පසුකර යාමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට තිබිණ.
ඉතාමත් හොඳින් කඩුලු අතර සම්බන්ධතා ගොඩනංවමින් ලකුණු වේගය 6 ක ආසන්නයේ පවත්වාගෙන එද්දී ඊට හරස් වූ කේෂව් මහාරාජ් සිය ඕවර 10 ලකුණු 32 කට සීමා කරමින් ශ්‍රී ලංකා පිලේ ගමන අඩාල කළේය. එහෙත් තරගයේ අවසන් ඕවර 15 වන විට කඩුලු 6 ක් අත තබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ එතැන් සිට ලකුණු වේගය වැඩි කිරීමට මඟ පාදාගත්හ.
40 වැනි ඕවරයේදී ලකුණු 206 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවර 10 දී ලකුණු 93 ක් උදුරාගත්තේ ක්වින්ටින් ඩි කොක්ගේ සියලු සැලසුම් අපතේ යවමිනි.
මෙම තරගය සඳහා ලුන්ගි න්ගිඩි ක්‍රීඩා නොකිරීමේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ කගීසෝ රබාඩාට පරෙස්සමෙන් මුහුණ දුන්හ. පළමු ඕවර 10 ඇතුළතදී රබාඩා විසින් යවන ලද ඕවර 4 න් ලකුණු 17 ක් පමණක් ලබාගත් දික්වැල්ල සහ තරංග දෙදෙනා අත්දැකීම් අඩු ජූනියර් දාලා සහ වියාන් මල්ඩර් විසින් යවන ලද ඕවර 6 කදී ලකුණු 47 ක් සොරා ගත්හ.
දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු සොයා වෙහෙසෙද්දී ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබීමේ වගකීම බාරගත් දික්වැල්ල නරඹන්නන්ගේ නළලත රැළි නංවන පහර කිහිපයකින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට පමණට වඩා හිස් එසවීමට අවස්ථාව නොදීමට වග බලාගත්තේය. දික්වැල්ල පන්දු 65 කට මුහුණ දීමෙන් පසුව ඇන්ඩිල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ දැවී යන විට හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.