Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අල් ජසීරා රූපවාහිනියෙන් සාක්ෂි ඉල්ලයි

අල් ජසීරා රූපවාහිනියෙන් සාක්ෂි ඉල්ලයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව වෙනස් කළේ යයි අල් ජසීරා රූපවාහිනී සේවයෙන් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් එම රූපවාහිනී ආයතනය සතුව තිබෙන සියලු තොරතුරු සපයන්න’යි අන්තර්ජාතික ක්‍රිකට් සභාව අල් ජසීරා රූපවාහිනී සේවයෙන් ඉල්ලා සිටී. පසුගිය සති අන්තයේදී විකාශය කරන ලද වැඩ සටහනට සම්බන්ධ අභ්‍යන්තර සහ සංස්කරණය නොකළ තොරතුරු සපයන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන්ට (අන්තර්ජාතික ක්‍රිකට් සභාවට) නිසි පරීක්‍ෂණයක් කළ හැකි බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (1 වැනිදා) නිවේදනය කළේය.

‘ක්‍රිකට් තරග පාවාදෙන්නෝ’ යනුවෙන් අල් ජසීරා රූපවාහිනී සේවය විසින් පසුගිය සතියේදී විකාශය කරන ලද වාර්තා වැඩසටහනකින් කියැවුණේ ටෙස්ට් තරග සඳහා තණතීරු සැකසීමේදී ක්‍රිකට් ඔට්ටුකරුවන්ට අනුව ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කිරීමට ක්‍රීඩාංගණ සේවකයන් එකඟ වන ආකාරයකි.

“මම කියන්නේ අල් ජසීරා සමාගම සතුව තියෙන සියලුම තොරතුරු අපට දෙන්න කියලයි” අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිකුරාදා පැවසීය.

“කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරිවෙන්න, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පරීක්‍ෂණයක් කරන්න අපට පුළුවන්. මේ වැඩසටහනේදී කියැවෙන සෑම දෙයක් ගැනම අපි හොයනවා. ඒත් ඒකට ඔවුන් සතුව තියෙන සියලුම සාක්‍ෂි අපට ඕනෑ” යයි ඬේවිඞ් රිචඞ්සන් මහතා වැඩිදුරටත් කීවේය.

මෙම වැඩසටහනින් කියැවුණේ ගාල්ල ක්‍රීඩාංගණයේ කළමණාකරුවකු තණතීරුව සකස් කිරීමට ක්‍රීඩාංගණ සේවකයන්ට අනුබල දෙන ආකාරයත් තවත් විස්සයි20 ක්‍රිකට් තරග පිළිබඳව අවධානය යොමුකර ඇති බවත්ය.

එංගලන්තය සහ ඉන්දියාව අතර 2016 දෙසැම්බර් මාසයේ චෙන්නායිහිදී පැවැති ටෙස්ට් තරගයේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ක්‍රීඩා කර ඇති බවත් 2017 දී ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර රංචිහි පැවැති ටෙස්ට් තරගයකදී එවැනිම සිදුවීම් තිබෙන බවත් ‘අල් ජසීරා’ වැඩසටහනේ කියැවිණ.

“කිසියම් කාරණාවකදී මාධ්‍යවේදීන්ගේ තොරතුරු සම්බන්ධ මූලාශ්‍ර ආරක්‍ෂා කිරීමේ වගකීම අප දන්නවා. අප ඊට ගරුකරනවා. පසුගිය සිදුවීම් වලදී අපේ දූෂණ මර්ධන ඒකකය අනෙකුත් මාධ්‍ය ආයතන සමග කටයුතු කර ඇත්තේ ඒ ආකාරයෙන් තමා”

“ඒ කොහොම වුණත්, චෝදනා ඔප්පුවෙන්න හරි නොවෙන්න හරි, ඔය කියන රූපවාහිනී වැඩසටහනේ තියෙන සාක්ක්‍ෂි අපි දකින්න ඕනෑ” යයිද ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

කලකට ඉහතදී පැවැති තරග පාවාදීමේ සිදුවීම් හේතුවෙන් සල්මන් බට්, මොහොමඞ් අසිෆ් සහ මොහොමඞ් අමීර් සිර දඬුවම්වලට යටත් වීමෙන් පසු තරග තහනමකට ලක්වූ අතර තහනමෙන් මිදුණු මොහොමඞ් අමීර් දැන් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටී.


අදහස් (0)

අල් ජසීරා රූපවාහිනියෙන් සාක්ෂි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.