Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අසලංක - සම්මු කණ්ඩායම ගොඩගනිති

අසලංක - සම්මු කණ්ඩායම ගොඩගනිති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චරිත් අසලංක (100) සහ සම්මු අෂාන් (61) ගොඩනැගූ ශතක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිලට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (03) ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා නැඟීඑන පිල පළමු ඉනිමේදී ලකුණු 103 ක වාසියක් ලබාගත්තේය.

දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් වන විට දකුණු අප්‍රිකානු නැඟීඑන පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 47 ක් රැස්කර තවත් ලකුණු 56 ක් පිටු පසින් සිටියේය.  

චරිත් අසලංක අනගි පළමු පෙළ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 218 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ හිටපු නායකයකු වන 21 හැවිරිදි අසලංක මිනිත්තු 301 හෙවත් පැය පහකට අධික කාලයක් කඩුල්ලේ රැදී සිටිමින් දුර්වල පන්දුවක් දුටු සැණින් ක්‍රියාත්මක වීම වඩාත් කැපී පෙනුණි.

චරිත් සහ කමිඳු මෙන්ඩිස් (31) හත්වැනි කඩුල්ලට ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

චරිත් ලකුණු 99 ක් ලබා සිටියදී ඊතාන් බොස්ච්ගේ පන්දුවකට දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි නායක ටෝනි ඩී සෝසිට ලබාදුන් පහසු උඩපන්දුව ගිලිහී ගියේය.

සම්මු අෂාන් පන්දු 95 කදී හතරේ පහර 8 සහ හයේ පහරක් සමගින් ලකුණු 61 රැස් කළේය.

චරිත් සහ සම්මු වයස 19 න් පහළ කණ්ඩායමේ වසර කීපයක් ක්‍රීඩා කිරීමෙන් ගොඩනඟාගෙන ඇති අවබෝධය ප්‍රයෝජනයට ගනිමින් හයවැනි කඩුල්ලට ලකුණු 101 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ ඉනිමට ජවයක් එකතු කිරීමට සමත් වූහ.

විසිහැවිරිදි සම්මු අෂාන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමෙන් නික්ම යෑමෙන් පසුව හොඳ දියුණුවක් ලබා ඇති බව මෙම ඉනිමෙන් ප්‍රදර්ශනය විය. ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුළන සම්මු මෙහිදී ඉතාමත් සාර්ථකව දුර්වල පන්දුවට ලකුණු ලබාගැනීමටත් හොඳ පන්දුවට හිස නමා ආරක්‍ෂාවීමටත් කටයුතු කළේය.

සම්මු අෂාන් දඟ පන්දු යවන්නන්ට ඉදිරියට පැමිණ පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව ස්ථානගත කරමින් ලකුණු රැස්කිරීමෙන් පීඩනයෙන් මිදීමට හැකිවිය.  

ශ්‍රී ලංකා පිල දිවා විවේකය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 161 ක් රැස්කර සිටියේය.   

බිනුර ප්‍රනාන්දු පන්දු 42 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 23 ක් රැස්කළේය. පැතුම් නිස්සංක (07) දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

පළමු දිනයේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී සධීර සමරවික්‍රම දැවී යෑමෙන් පසුව බිනුර ප්‍රනාන්දු මුරකරු පිතිකරු ලෙස යාන්තමින් හතරේ සීමාව පැනතිබීම හේතුවෙන් අංක පහ පිතිකරු ලෙස ඊයේ පෙරවරුවේ පන්දුවට පහර දීමට පැමිණීමට සිදුවිය.

සධීර දැවී යෑමෙන් පසුව මිනිත්තු හතරක් ඉතිරිව තිබෙන බැවින් තරගය පවත්වාගෙන යායුතු බවට දකුණු අප්‍රිකානු පිලේ නායකයා විනිසුරු සමඟ කථා බහක් ඇති වූ අතර ඒ හේතුවෙන් බිනුර පිටියට පැමිණියේය.  
තරගයේ පළමු දිනය වූ ඊයේ (02) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ශ්‍රී ලංකා නැඟීඑන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 69 ක් රැස්කර සිටියේය.

හෙට (04) තරගයේ තෙවැනි දිනයයි.  


ලකුණු පුවරුව
දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 216
(රයන් රිකල්ටන් 51,  නන්ද්‍රි බර්ගර් 31, කමිඳු මෙන්ඩිස් 32/4)


ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම

ළහිරු මිලන්ත - ඇ. බොස්ච් ප. සිපම්ලා    5
කෞෂාල් සිල්වා - ඇ. රිකස්ටන් ප. බොස්ච්    34
සදීර සමරවික්‍රම - ස්ටම්ප් රිකස්ටන් ප. මලොක්වානා     25
පැතුම් නිස්සංක - ඇ. රිකස්ටන් ප. සිපම්ලා    7
බිනුර ප්‍රනාන්දු - ඇ. රපුලානා ප. න්ලිබිලා    23
චරිත් අසලංක - ඇ. රිකස්ටන් ප. සිපම්ලා    100
සම්මු අෂාන් - ඇ. රිකස්ටන් ප. බර්ගර්     61
කමිඳු මෙන්ඩිස් - ඇ. රිකස්ටන් ප. සිපම්ලා    31
නිසල තාරක - ඇ. සහ ප. බර්ගර්    6
ජෙෆ්රි වැන්ඩසේ - ඇ. සහ ප. බර්ගර්    4
ළහිරු ගමගේ - නොදැවී    3
අතිරේක    20
එකතුව ඕවර 92 කදී සියලු දෙනා දැවී    319

කඩුලු වැටීම:
1-6(මිලන්ත), 2-55(කෞෂාල්), 3-69(සදීර), 4-73(නිස්සංක), 5-117(බිනුර), 6-218(සම්මු), 7-302(කමිඳු), 8-303(අසලංක), 9-308(වැන්ඩසේ), 10-319(තාරක)

පන්දු යැවීම:
ලුතෝ සිපම්ලා: 22-3-75-4, නන්ද්‍රි බර්ගර්: 18-3-69-3, ග්‍රෙගරි මලොක්වානා: 14-2-43-1, ඊතාන් බොස්ච්: 15-2-41-1, මන්ගාලිසෝ න්ලිබිලා: 14-2-52-1, කාගිසෝ රපුලානා: 5-0-11-0, මැතිව් බි්‍රටිෂ්කි: 4-0-15-0


දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල - දෙවැනි ඉනිම

රයන් රිකල්ටන් - නොදැවී    20
ටෝනි ඩී සෝසි - නොදැවී    25
අතිරේක    2
එකතුව ඕවර 11 කදී කිසිවකු නොදැවී    47

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
කාගිසෝ රපුලානා, රේනාඞ් වෑන් ටොන්ඩර්, මැතිව් බි්‍රටිෂ්කි, ජෙවෙෂාන් පිල්ලෙයි, ඊතාන් බොස්ච්, මන්ගාලිසෝ න්ලිබිලා, ග්‍රෙගරි මලොක්වානා, නන්ද්‍රි බර්ගර්, ලුතෝ සිපම්ලා

පන්දු යැවීම:
ළහිරු ගමගේ: 4-0-18-0, නිසල තාරක: 4-0-16-0, කවිඳු මෙන්ඩිස්: 2-0-10-0, ජෙෆ්රි වැන්ඩසේ: 1-0-2-0

 


අදහස් (0)

අසලංක - සම්මු කණ්ඩායම ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.