Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ ටේ‍රන්ට්බ්‍රිජ් තරගය දිනති

ඉන්දියානුවෝ ටේ‍රන්ට්බ්‍රිජ් තරගය දිනති

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොටිංහැම්ෂයර් ප්‍රාන්තයේ ටේ‍රන්ට්බි්‍රජ් නුවරදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 203 ක දැවැන්ත ජයක් අත්කරගත් ඉන්දියානුවෝ එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සටන්කාමී මට්ටමේ තබාගත්හ. තරගාවලියේ පළමු තරග දෙකම පරාජය වී සිටීම නිසා 2-0 ක් ලෙසින් පසුපසින් සිටියද නොටිංහැම්හිදී අද අවසන් වූ තරගයේදී ලබාගත් ජයත් සමගින් තරගාවලියේ පරතරය 2-1 ක දක්වා අඩු කිරීමට ඉන්දීය පිලට හැකිවිය.

ටේ‍රන්ට්බි්‍රජ් තරගය ජයගනිමින් තරගාවලියේ ජය මිට මොළවාගැනීමට සිහින දකිමින් සිටි එංගලන්ත පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 521 ක් ලබාගත යුතු විය. එහෙත් සිය දෙවැනි ඉනිමේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 317 ක් පමණි. 

තරගයේ සිවුවැනි දිනය වූ අඟහරුවාදා ක්‍රීඩාව නතර කරන විටත් කඩුලු 9 ක් දවාගෙන සිටි ඉන්දීය පිලට අද දිනයේ තරගය අවසන් කිරීම සඳහා අවශ්‍ය වූයේ ඕවර 3 කටත් අඩු සංඛ්‍යාවකි. රවිචන්ද්‍රන් අශ්වින් විසින් යවන ලද පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දුන් ජේම්ස් ඇන්ඩසන් දැවී යාමත් සමගම එංගලන්තයේ සටන නිමා විය. 

එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට මෙම තරගයේදී ඔල්වරසන් දීමට හේතුවක් වූයේ නම් ඒ ජොස් බට්ලර්ගේ මුල්ම ටෙස්ට් ශතකය වෙනුවෙන් පමණි. මුල් ඉනිමේදී ලකුණු 97 ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් ද ලබාගත් ඉන්දීය නායක විරාට් කෝලි තරගයේ වීරයා විය. 

“මේ දිනුම අපට ඉතාමත් වැදගත් එකක්. මේක අත්වැරදීම් නැති, නායකයකු වශයෙන් මගේත් කණ්ඩායමේ කළමණාකාරීත්වයේත් සිත් සතුටු කරවන දිනුමක්” යයි කෝලි ජයග්‍රහණයෙන් අනතුරුව පැවසීය. 

“කරන්න තරම් වෙනස්කමක් තිබුණේ නෑ. බර්මින්හැම්හිදී අපි පරාජය වුණත් ජයග්‍රහණයට ආසන්නයෙන් හිටියේ. ඒත් පිතිකරුවන් වශයෙන් අපි කතා වුණේ ලකුණු ලබාගත්තොත් අපි දිනුම් කියලයි” යයිද විරාට් කෝලි පැවසීය. 

පළමු ඉනිමේදී හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 5 ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 5 ක් දවාගත්තේය. 

කුණු 521 ක් කරා ගිය එංගලන්ත පිලේ කඩුලු 4 ක් ලකුණු 62 කට බිඳ වැටුණද පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 169 ක් එක්කිරීමට ජොස් බට්ලර් සහ බෙන් ස්ටෝක්ස් සමත් වූහ. 

“මේ සම්බන්ධය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ කණ්ඩායමට කදිම පාඩමක්.  ඔවුන් ඒ තත්ත්වයට නිසි ආකාරයෙන් අනුගත වුණා. සදම්ප්ටන්හිදී පැවැත්වෙන ඊළඟ ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 400 ක් ලබාගන්නම වෙනවා” යයි එංගලන්ත නායක ජෝ රූට් පැවසීය. 

තරගාවලියේ සිව්වැනි තරගය ලබන බ්‍රහස්පතින්දා සදම්ප්ටන්හිදී ආරම්භ වේ.

ඉන්දියාව  - පළමු ඉනිම 329

එංගලන්තය  - පළමු ඉනිම 161

ඉන්දියාව  - දෙවැනි ඉනිම කඩුලු 7 ට 352

එංගලන්තය  - දෙවැනි ඉනිම 317 


අදහස් (0)

ඉන්දියානුවෝ ටේ‍රන්ට්බ්‍රිජ් තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.