Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ. දෙවතාවක්ම ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් එක වතාවක් හෝ එහි ජයපැන් බීමට බංග්ලාදේශ පිල අපොහොසත් වී තිබේ.
ලකුණු 223 ක පහසු ඉලක්කයක් කරා යද්දී ලකුණු 167 කට කඩුලු 5 ක් බිඳ වැටීමෙන් ඉන්දීය ඉනිම මඳක් සසළ වූ නමුත් රවීන්ද්‍ර ජදේජා සහ කේදර් ජාදව් එක්ව ලකුණු සංඛ්‍යාව තල්ලුකරගෙන ගියහ.
මහේන්ද්‍ර සිං දෝනි දැවී යාමෙන් පසුව යැවුණු 37 වැනි ඕවරයේ සිට 44 වැනි ඕවරය දක්වා ඕවර 8 කදී නිලකුණු පන්දු 27 ක් වාර්තා විය. මෙම අවස්ථාවේදී ජාදව් සෑහෙන අපහසුතාවකට පත්ව සිටි බැවින් ඔහුව ආපසු ක්‍රීඩාගාරයට කැඳවාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා බුවනේෂ්වර් කුමාර් පිටියට එවූයේ දිගින් දිගටම පැවැති නිලකුණු පන්දු ලකුණු බවට පෙරළාගැනීමේ අරමුණ ඇතිවය.
ඉන්දීය පිලේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 5 තුළදී ලකුණු 26 ක් ලබාගත යුතුව තිබු අතර කඩුලු 5 ක් ඔවුන් අත විය. පසුව එය ඕවර 3 කදී ලකුණු 13 ක් දක්වාත් අවසන් ඕවරයේදී ලකුණු 6 ක් දක්වාත් වෙනස් විය.
අවසන් ඕවරය වන විට ඉන්දියානුවන් සතුව තිබුණේ කඩුලු 3 ක් පමණක් වූවද කේදර් ජාදව් නැවතත් පිටියට පැමිණ සිටියේය.
තීරණාත්මක අවසන් ඕවරයේදී තමන්ගේ සිත් සසළ කර නොගත් කේදර් ජාදව් (නොදැවී 23) සහ කුල්දීප් යාදව් (නොදැවී 5) අවසන් පන්දුවේදී තනි ලකුණක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පැකිලීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේය. ආරම්භක පිතිකරු ලිටන් දාස් අගනා ශතකයක් ලබාගත් නමුත් එයින් ප්‍රයෝජන ගැනිමට අසමත් වූ බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 කටත් මුහුණ දීමට පොරතුව ලකුණු 222 කට දැවී ගියේය. ලිටන් දාස් සහ මෙහෙදි හසන් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ලකුණු 102 ක් තුළදී කඩුලු 10 ම බිම හෙළීමට කුල්දීප් යාදව් සහ කේදර් ජාදව් සමත්වූයේ දුවද්දී දැවී යාම් තුනක ශාපය බංග්ලාදේශ පිලට අත්වූ හෙයිනි.
පන්දු 117 කින් ලකුණු 121 ක් ලබාගත් ලිටන් දාස්ගේ ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහර දෙකකින් සමත්විත වූ අතර කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව තමන්ගේ සැලසුම් හදිසියේම වෙනස් කළ බංග්ලාදේශ කණ්ඩායම ලිටන් දාස් සමග ඉනිම ආරම්භ කිරීම සඳහා මෙහෙදි හසන් යොදාගත්තේය. අවදානම ටක්කෙටම හරිගියේ මෙහෙදි හසන් සහ ලිටන් දාස් එක්ව ඕවර 20.5 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක් පැවැත්වූ බැවිිනි.
කේදර් ජාදව්ගේ පන්දුවක් හමුවේ අම්බටි රයියදු රැකගත් උඩපන්දුවක් නිසා මෙහෙදි හසන් දැවී යාමෙන් පසුව බංග්ලාදේශ ඉනිමට වරින් වර හානි කළ ඉන්දීය පන්දු යවන්නන්ට බංග්ලාදේශ පිතිකරුවන්ගේ කලබලවීමෙන් ලැබුණේ අගනා තල්ලුවකි.
මොහොමඞ් මිතුන්, සෞම්‍ය සාර්කර් සහ නසිමුල් ඉස්ලාම් තිදෙනාම දුවද්දී දැවී ගිය අතර කුල්දිප් යාදව් (45/3) සහ කේදර් ජාදව් (41/2) සෙසු පිතිකරුවන්ට වගකීහ. ලිටන් දාස් සහ මශ්රාෆි මොර්ටසා දෙදෙනාම ස්ටම්ප් කිරීම් වලට හසුකරගත් මහේන්ද්‍ර සිං දෝනි සියලුම ආකාරයේ අන්තර්ජාතික තරග වලදී ලබාගත් ස්ට්ම්ප් කිරීම් සංඛ්‍යාව 184 ක් විය. ක්‍රිකට් වාර්තා පොතේ මෙම පිටුවේදී දෝනිට පිටුපසින් සිටින්නේ කුමාර් සංගක්කාර (139) සහ රොමේෂ් කළුවිතාරණ (101) දෙදෙනාය.
මෙහෙදි හසන් බංග්ලාදේශය වෙනුවෙන් ඉනිම ආරම්භ කළා පමණක් නොව බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමත් ආරම්භ කළේය. ආසියානු කුසලන තරගයකදී තමන්ගේ රට වෙනුවෙන් ඉනිමත් පන්දු යැවීමත් ආරම්භ කළ පස්වැන්නා ලෙසින්ද මෙහෙදි හසන් වාර්තා පොතට එක්විය. එවන් අවස්ථාවක් ලද සෙසු ක්‍රීඩකයන් වන්නේ රවී රත්නායක (ශ්‍රී ලංකාව), මනෝජ් ප්‍රභාකර් (ඉන්දියාව), අසීම් සයීඞ් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සහ පාකිස්තානයේ මොහොමඞ් හෆීස්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.