Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ එක්දින තරගාවලියත් දිනති

ඉන්දියානුවෝ එක්දින තරගාවලියත් දිනති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘වයසක දෝනි ලෝක කුසලාන තරගාවලියට බර වැඩී’ යයි ඇතැමුන් කෑමොර දුන් නමුත් තරග 3 කින් සමන්විත තරගාවලියේදී පිට පිටම තුන්වැනි අර්ධ ශතකයත් ලබාගත් ඉන්දීය පිලේ හිටපු නායකයා එක්දින තරගාවලියේදීත් 2-1 ක ජයක් ඉන්දිය පිලට අත්කර දුන්නේය. ඕස්ටේ්‍රලියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදීත් ඉන්දීය පිල කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබාගත්තේය.

සති එක හමාරකට ඉහතදී ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු බිමේදීම ටෙස්ට් තරගාවලියේදීත් පරාජය කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

අද තරගයේදී පන්දු 114 කින් ලකුණු 87 ක් ලබාගත් මහේන්ද්‍ර සිං දෝනි මෙම තරග තුනේදී ලකුණු ලබාගත්තේ ලකුණු 51 ක්, නොදැවී 55 ක් සහ නොදැවී 87 ක් වශයෙනි. පා දඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චාහල් මෙම තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කරමින් ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගත්තේ සත්කාරකයන් ලකුණු 230 සීමාවේ නවතා දමමිනි.

ආරක්‍ෂා කරගැනීමට තිබුණේ අඩු ලකුණු සංඛ්‍යාවක් වන නමුත් ඕස්ට්‍රේලියානුවෝ තරගයට මෙන් උඩපන්දු අතහැරියහ. විරාට් කෝලි ලකුණු 10 ක් ලබා සිටියදී ස්ලිප්හි සිටි පීටර් හැන්ඞ්ස්කොම්බ්ට දුන් උඩපන්දුව අතහැරීම නිසා ඉන්දීය නායකයා ලකුණු 46 ක් ලබාගත්තේය. කෝලි සහ දෝනි අතර පැවැති සම්බන්ධතාව ලකුණු 54 කි.

දෝනි මුහුණ දුන් පළමු පන්දුවම උඩපන්දුවක් ලෙසින් ග්ලෙන් මැක්ස්වෙල් වෙත යොමු කළ නමුත් ඔහුද එය බිම දැම්මේය. දෝනි ලකුණු 48 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ඒරන් ෆින්ච් විසින් බිම හෙළනු ලබන විට ඉන්දීය ජයග්‍රහණයට පන්දු 18 කදී ලකුණු 27ක් අවැසිව තිබිණ.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කිසියම් පාලනයක් ඇතිව පන්දු යැවූ හෙයින් ඉලක්කය කරා සිතූ තරම් පහසුවෙන් අවතීර්ණ වීමට ඉන්දීය පිලට අවස්ථාව නොලැබිණ. කෙසේ වෙතත් දෝනි සමග එක්වූ කේදර් ජාදව් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය පිල ජයග්‍රහණය කරා කැඳවාගෙ ගියහ.

පන්දු 63 කින් දෙකක් පමණක් හතරේ සීමාවට යවමින් පීටර් හැන්ඞ්ස්කොම්බ් ලබාගත් අර්ධ ශතකය හැරෙන්නට ඕස්ට්‍රේලියානු පිතිහරඹයේ ගන්නට දෙයක් නොතිබිණ.
 

ඕස්ට්‍රේලියාව - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 230 යි
(ඒරන් ෆින්ච් 14, උස්මන් කවාජා 34, ෂෝන් මාෂ් 39, පීටර් හැන්ඞ්ස්කොම්බ් 58, මාකස් ස්ටොයිනිස් 10, ග්ලෙන් මැක්ස්වෙල් 26, ජේයි රිචඞ්සන් 16, බුවනේෂ්වර් කුමාර් 28/2, මොහොමඞ් සාමි 47/2, යුෂ්වේද්‍ර චාහල් 42/6)

ඉන්දියාව - ඕවර 49.2කදී කඩුලු 3 ක් දැවී 234 යි
(ෂිකාර් ධාවන් 23, විරාට් කෝලි 46, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 87, කේදර් ජාදව් නොදැවී 61)

 


අදහස් (0)

ඉන්දියානුවෝ එක්දින තරගාවලියත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.