Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව ලකුණු 49 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 49 ක් ඉදිරියෙන්

Nisanka Sandeepani - 2017 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 171 ක් රැස්කර සිටියේය. මේ වනවිට ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 49 ක් ඉදිරියෙන් සිටින අතර ලෝකේෂ් රාහුල් ලකුණු 73 ක් සහ චෙතේෂ්වර් පුජාරා ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

පිට පිට ඉනිම හතකදී අර්ධ ශතක ලබාගනිමින් වාර්තා පොත් අලුත් කිරීමට ගත් උත්සහය මෙම තරගයේ පළමු ඉනිමේ පළමු පන්දුවෙන් දැවීයාම හේතුවෙන් අහිමිවී ගියද නැවතත් ලකුණු අතරට පැමිණි ලෝකේෂ් රාහුල් සිය 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය.

සිව්වැනි ටේස්ට් අර්ධ ශතකය වාර්තා කළ ශ්‍රිකර් ධවාන් ශතකය පෙනි පෙනී සිටියදී දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 94 කට දැවී ගියේය.

ලෝකේෂ් රාහුල් සමගින් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සදහා ලකුණු 166 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශීකර් ධවාන් පළමු ඉනිම සදහා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි ලකුණු 122 සිමාව පසුකිරීමට සමත්විය.

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ශීකර් ධවාන් එල්ල කළ පහරක් පිත්තේ වැදී උඩපන්දුවක් ලෙස රැකගත් බවට කළ ඉල්ලීමක් ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කළද ඉන් සැහීමක පත් නොවූ දිනේෂ් චන්දිමාල් විනිසුරු තීරණය විමසීමේ ක්‍රම වේදය ඉල්ලා සිටියේය.

පුණරූපන නැරඹීමේදී පිත්ත අසලින් හෝ පන්දුව නොගිය බව දැකගත හැකිවූ අතර කඩුල්ල මුවා කළේද යැයි පරීක්‍ෂාකර බැලූවද පන්දුව කඩුල්ලේ නොවදින බවට තෙවැනි විනිසුරු තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාවට එක් විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවක් අහිමිව ගියේය.

යළිත් වරක් ඩිල්රුවන් පෙරේරා විසින් ශීකර් ධවාන් කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමක් ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කළද ඉන් සැහීමක පත් නොවූ දිනේෂ් චන්දිමාල් විනිසුරු තීරණය විමසීමේ ක්‍රම වේදය ඉල්ලා සිටියේය.

පුණරූපන නැරඹීමේදී පන්දුවට අත් ආවරණයේ වැදීයාම හේතුවෙන් ශීකර් ධවාන් දැවී නොගිය බවට තෙවැනි විනිසුරු තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාව සතුව තිබූ දෙවැනි විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවත් අහිමිව ගියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම දිවා ආහාරයෙන් මිනිත්තු 30 කට පමණ පසුව අවසන් වන විට සියලුදෙනා දැවී ලකුණු 294 ක් රැස්කර සිටියේය. ඉන්දියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 122 ක් ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකාව සමත්විය.

ඊයේ (18 වැනිදා) තෙවැනි දිනය සදහා තරගය නතර කරනවිට කඩුලු 4 කට ලකුණු 165 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකාවට අද උදෑසන ඉන්දියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට අවස්ථාව හිමිවිය. 

ලකුණු 200 කට කඩුලු 4 ක් ලෙස සටහන්වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 3 ක් තුළ ලකුණු 201 කට කඩුලු 7 ක් දක්වා වෙනස් කිරීමට බුවනේශ්වර් කුමාර් සහ මොහොමඞ් ශාමි සමත්වූහ.

පස්වැනි කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් දුරට ඔසවා තැබූ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල දවා ගනිමින් පීඩනයක් ඇති කිරිමට මොහොමඞ් ශාමී සමත්විය.

දසුන් ශානකට ස්ථාවර විමට අවස්ථාවක් ලබානොදුන් බුවනේෂ්වර් කුමාර් ලකුණු ලබාගැනීමට ප්‍රථම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. පන්දු රකින්නන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරුවරයා විසින් දසුන් ශානක දැවී ගියේ යැයි තීරණය කළේය. ඊට එකඟ නොවූ දසුන් ශානක විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ලේ ඉහළ දාරයේ යම්තමින් වැදී යන ආකාරයක් දිස්විම හේතුවෙන් තෙවැනි විනිසුරුවරයාටද ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ විමට සිදුවිය.

ඩිල්රුවන් පෙරේරා ලකුණු ලබාගැනීමට ප්‍රථම මොහොමඞ් ශාමීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට ප්‍රධාන විනිසුරුවරයා විසින් ඔහු දැවී ගිය බවට සංඥා කළේය. ක්‍රීඩාගාරය දෙසට පියවර කිහිපයක් ගමන් කළ ඩිල්රුවන් පෙරේරා නැවත එකවරම හැරී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹු තෙවැනි විනිසුරුවරයා විසින් පන්දුව නිවැරදි ස්ථානයේ පතිත නොවීම හේතුවෙන් ඩිල්රුවන් පෙරේරා දැවී නොගිය බවට තීරණය කිරීමත් සමගින් තවදුරටත් කඩුල්ලලේ රැඳී සිටීමේ වාසනාව ඔහුට හිමිවිය.

රංගන හේරත්ට වේගයෙන් ලකුණු රැස්කිරීමට අවස්ථාව සලසා දෙමින් එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ඩිල්රුවන් පෙරේරා දැවියන විටදී පන්දු 34 කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණ 5 ක් පමණි.

සුරංග ලක්මාල් සමගින් නවවැනි කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය රංගන හේරත් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය. බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවකට ගැසූ වේගවත් පහරකින් ඉහළ නැගි පන්දුව හතරේ සීමාව ආසන්නයේදී මොහොමඞ් ශාමී විසින් රැකගැනීමත් සමගින් ලකුණු 67 ක් රැස්කර සිටි රංගන හේරත්ගේ ඉනිම අවසන්විය.

ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 4 ක් එක්වන විටදී අවසන් කඩුල්ල ලෙස සුරංග ලක්මාල් දවාගැනීමට මොහොමඞ් ශාමී සමත්විය.

ශ්‍රි ලංකා ඉනිමේ කඩුලු සියල්ලම වේග පන්දු යවන්නන් වන බුවනේෂ්වර් කුමාර් (4), මොහොමඞ් ශාමී (4) සහ උමේෂ් යාදව් (2) අතර බෙදී ගියේය. ඉන්දීය කණ්ඩායම තම මව් රටේදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු සියල්ලම වේගපන්දු යවන්නන් විසින් දවාගත් තෙවැනි අවස්ථාව වන්නේය. 1981 වසරේදී එංගලන්තයට එරෙහිවත් 1983 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිට එරෙහිවත් මෙම දස්කම කිරීමට ඉන්දීය වේගපන්දු යවන්නෝ සමත්වුහ.

 

 


අදහස් (0)

ඉන්දියාව ලකුණු 49 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.