Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි

ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන මානයේ තිබූ ජයග්‍රහණය අඳුරේ සැඟවී ගියේය.

ශ්‍රී ලංකා පිලට එරෙහිව කොල්කටාවේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (20 වැනිදා) ඕවර 47 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට සැලසුම් කළ ඉන්දියානුවන් හමුවේ ශ්‍රී ලංකා පිල ලකුණු 75 කට කඩුලු 7 ක් අහිමි කරගෙන තිබුණද මන්දාලෝකය නිසා තරගය ජය පරාජයෙන් තොරව නතර කර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.

ඒ වන විටත් තරගයට නියමිත කාලයෙන් හෝරාවකට වැඩි වේලාවකදී යැවිය යුතුව තිබූ ඕවර 20 ක් ඉතිරි වී තිබිණ. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලට බාර කළ අභියෝගය වූයේ ලකුණු 231 කි.

අභියෝගය බාරගැනීම කෙසේ වෙතත් ලකුණු 231 ක් කරා යාම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම ඇද වැටිණ. පන්දු 15 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගත් අතර දෙදෙනාම දැවී ගියේ බැක් කට් පහර ගැසීමට යාමෙන් පන්දුව කඩුල්ල වෙත ඇදගැනීමෙනි. තරගයේ පළමු දිනයේ සිටම කොල්කටා තණතීරුව හැසිරුණු ආකාරය අනුව ඒ පන්දු දෙකින් එකක් හෝ බැක් කට් පහරක් ගැසීමට තරම් ඈතින් ගිය ඒවා නොවේ.

පුවරුවේ ලකුණු 8 ක් පමණක් සටහන් වී තිබියදී තේ පානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමට නම් එතැන් සිට ඕවර 40 ක් පුරා කඩුලු 8 ක් ආරක්‍ෂා කරගත යුතුව තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව යැවුණු දෙවැනි ඕවරයේදී ගලී හි සිටි අජින්ක්‍යා රහනේට උඩපන්දුවක් තිළිණ කළ ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත්ව ගිය අතර ලකුණු 22 දී ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමත් නිමා විය.

කලහකාරී පිතිහරඹයක යෙදෙමින් ලකුණු 27 ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල ඉන්දීය ක්‍රීඩකයන් සමගත් එකට එක කියන අතරේ දිනේෂ් චන්දිමාල්ගේ සහායත් ලබාගනිමින් පස්වැනි කඩුල්ලට ලකුණු 47 ක් එක්කළේය. එහෙත් මොහොමඞ් ශාමිගේ පන්දුවක් චන්දිමාල්ගේ පිත්තට යටින් රිංගා කඩුල්ලට කඩාවැදීමත් සමගින් ශ්‍රී ලංකා පිලේ පසුපෙළ කඩාවැටීම නැවතත් ආරම්භ විය. ලකුණු 6 ක් ඇතුළත චන්දිමාල්, දික්වැල්ල සහ ඩිල්රුවන් පෙරේරා යන තිදෙනාම පිටියෙන් ඉවත් වූවත් විනිසුරුවරුන් අත රැඳී ආලෝකමානය ශ්‍රී ලංකා පිලේ වාසියට තීන්දුව දුන්නේය.

විරාට් කෝලිගේ අති විශිෂ්ට පිතිහරඹයෙන් සවිමත් වූ ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම  වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 352 ක් ලබාගත්තේය. පළමු ඉනිමේදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගිය විරාට් කෝලි දෙවැනි ඉනිමේදී සිය ශතකය කරා අවතීර්ණ වූයේ ලක්මාල් හමුවේ ගැසූ අලංකාර හයේ පහර දෙකකිනි. ශතකය ලබාගැනීමත් සමගින් සුරත මිට මොළවා සතුට පලකළ ඉන්දීය නායකයා සැණෙකින් ඉනිම නවතා ක්‍රීඩාගාරයට ගියේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකා පිල දවාගැනීමේ අදිටනිනි.

තරගයේ අවසන් දිනය වූ අද (20 වැනිදා) ඉන්දීය පිතිකරුවන් තරගය ආරම්භ කළේ කඩුල්ලක් දැවී ලකුණු 171 ක් ලබා සිටිමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ද වරින් වර කඩුලු දවාගත් නමුත් චෙටේස්වාර් පුජාරා දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඉන්දීය නායකයා පාලනය කරගැනීම අසීරු විය. පන්දු 119 කදී සිය ශතකය ලබාගත් කෝලිගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වී තිබිණ.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා ...

 


අදහස් (0)

ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.