Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට ලකුණු 141 ක ජයක්

ඉන්දියාවට ලකුණු 141 ක ජයක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක් ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද ඉන්දියාවට හැකිවිය.

ජයග්‍රහණය සදහා ලකුණු 393 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි. ඉන්දිය පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඇතිවු අවමානයෙන් තරමක් දුරට මිදීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකය ඉවහල් විය.

සිය දෙවැනි එක්දින ශතකය ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 111 ක් රැස්කළ අතර පන්දු 132 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර නවයක් ඇතුළත් විය.

ලකුණු 5000 සීමාව පසුකිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ 10 වැනි ක්‍රීඩකයාද වන්නේය.

සුළු සුළු සම්බන්ධතා ගොඩනැගුණද ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව දිගු ඉනිමක් ක්‍රීඩාකිරීමට කිසිදු ශ්‍රී ලාංකිය පිතිකරුවකුට අවස්ථාවක් හිමිනොවීය.

වේගයෙන් පන්දුවට පහරදෙමින් සිටි අසේල ගුණරත්න ලකුණු 34 ක් ලබාසිටියදි ස්ටම්ප් කිරීමකට හසුව දැවීගිය අතර පස්වැනි කඩුල්ල සදහා ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව ලකුණු 44 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 22 ක් රැස්කළ නිරෝෂන් දික්වැල්ල දැවීයන විටදි ලකුණු 115 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්විය. ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගු දික්වැල්ල ලකුණු 1000 සීමාව පසුකිරීමට අද සමත්විය.

කඩුල්ල කෙළින් පතිතවූ පන්දුවට රිවර් ස්විප් පහරක් ගැසීමට ගිය ළහිරු තිරිමාන්න, වොෂින්ටන් සුන්දර්ගේ මංගල කඩුල්ල ලෙස ලකුණු 21 කට දැවී ගියේය.

ආරම්භක පිතිකරුවන්වූ උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක හට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔවුන්ව ක්‍රීඩාගාරය වෙත යැවීමට හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීට් බුම්රා සමත්වූහ.

විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් රෝහිත් ශර්මා (නොදැවී 208) ද්විත්ව ශතකයක් රැස්කිරීම හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 392 ක් රැස්කිරීමට හැකිවිය.

සිය තෙවැනි ද්විත්ව ශතකය වාර්තා කළ රෝහිත් ශර්මා ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ දෙවැනි ද්විත්ව ශතකය වන අතර ක්‍රීඩකයකු රැස්කළ වැඩිම ද්විත්ව ශතක වාර්තාවටද හිමිකම් කියන්නේය. පන්දු 115 කදී ශතකය රැස්කළ රෝහිත් ශර්මාට ද්විත්ව ශතකය කරා යැමේදී ඉතිරි ලකුණු 100 රැස්කිරීමට වැයවූයේ පන්දු 36 ක් පමණි.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක 8 ක් වාර්තාවී ඇති අතර රෝහිත් ශර්මා (3), සචින් තෙන්ඩුල්කාර් (1), විරේන්ද්‍ර ශෙවාග් (1), මාටින් ගප්ටිල් (1), ක්‍රිස් ගේල්ට අමතරව ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායමේ බෙලින්ඩා ක්ලාක්ද ද්විත්ව ශතකයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.

ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි රෝහිත් ශර්මා පන්දු 153 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිම හයේ පහර 12 කින් සහ හතරේ පහර 13 කින් අලංකාර විය.

ඕවර 40 ක් අවසන්වනවිට කඩුල්ලක් දැවී ලකුණු 245 ක් රැස්කරගෙන සිටි ඉන්දිය පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළ කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 147 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.
තරග 100 කදී කණ්ඩායමක් විසින් මුළු ලකුණු 300 සීමාව පසුකළ පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව සමත්වූ අතර තරග 96 කදී එම දස්කම කරමින් ඕස්ටේ්‍රලියාව දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

මොහාලිී චන්දිගාර්ඞ් ක්‍රීඩාංගණයේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යවේ වාර්තාව අද බිඳවැටුණු අතර මීට පෙර ඉන්දියාව විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 351 ක් රැස්කර තිබුණි.

ඉන්දියානු පිතිකරුවන් හමුවේ පහර පිට පහරකෑ නුවන් ප්‍රදීප් ඕවර 10 ක් තුළ ලකුණු 106 ක් ලබාදෙමින් පන්දු යවන්නකුට එරෙහිව රැස්කළ ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට සමත්විය. තෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ බුවනේශ්වර් කුමාර්ට එරෙහිව ලකුණු 106 ක් ලබාගෙන ඇති අතර මයික් ලෙවිස්ට එරෙහිව ලකුණු 113 ක් ලබාගෙන පන්දු යවන්නෙකුට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවන අතර දෙවැනි ස්ථානයේ පසුවන වහබ් රියාස්ට එරෙහිව ලකුණු 110 ක් ලබාගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

සචිත් පතිරණ ඕවර 8 ක් යවමින් එක් කඩුල්ලක් සමගින් ලකුණු 63 ක් ලබාදුන් අතර සුරංග ලක්මාල් ඕවර 8 කදී ලකුණු 71 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය. නායක තිසර පෙරේරා ඕවර 8 කට ලකුණු 80 ක් ලබාදෙමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ ශ්‍රීයාස් අයියර් සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර රෝහිත් ශර්මා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 213 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය. පන්දු 70 කදී ලකුණු 88 ක් වාර්තාවූ ශ්‍රීයාස් අයියර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ද ඇතුළත්විය.

මුළු ලකුණු සංඛ්‍යාව 115 ක් වනවිට ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් දවාගැනීමට සචිත් පතිරණ සමත්විය. ලකුණු ලබාගැනීමට සෙමින් ආරම්භ කළද පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ධවාන් දැවීයන විට පන්දු 67 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර ඉන්දිය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් කුල්දීප් යාදව් වෙනුවට වොෂින්ටන් සුන්දර් එක්දින වරම් හිමිකර ගනිමින් කණ්ඩායමට එක්වීය.


වළාකුළු වලින් පිරි අහසක් ඇති බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බව කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පැවසීය. පළමු තරගයේ තණතීරූවට වඩා මෙම තණතීරුව වඩාත් හොදයැයි පැවසු තිසර පෙරේරා මම දන්නවා මේ තණතීරූව ගැන. මම කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමගින් මෙම තණතීරූවේ ක්‍රීඩාකර ඇති බවද පැවසීය.

කාසියේ වාසිය දිනාගත්තානම් ඔවුන් පන්දු යැවීමට සිටි බව ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පැවසීය. හැම තරගයකදීම මොනයම්හෝ දෙයක් ඉගෙන ගැනීමට ලැබෙන බවත් පන්දු යැවීමට සිටින කණ්ඩායම තරුණ පිරිසක් බවත් ඔවුන්ට තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමට හැකි බවත් ශර්මා පැවසීය.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.    

ලකුණු 5000 සීමාව පසුකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

 

 

 

 

අදහස් (0)

ඉන්දියාවට ලකුණු 141 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.