Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනියි

ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනියි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවට එරෙහිව අතර විශාකාපට්නම්හිදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

මේ වසර තුළදී එක්දින තරග 28 කට සහභාගි වූ ශ්‍රී ලංකාවට එහිදී ජයගත හැකි වූයේ තරග 5 ක් පමණි. ඒ අනුව වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ 23 වැනි එක්දින තරග පරාජය ලෙස මෙම පරාජය සටහන් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 32.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දිනේෂ් කාර්තික් (නොදැවී 26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 70 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ශිකර් ධවාන් (නොදැවී 100) ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 12 වැනි ශතකය ලබාගත් ආරම්භක පිතිකරු ධවාන්, අඩුම ඉනිම් සංඛ්‍යාවකින් එක්දින ලකුණු 4000 සීමාව පසුකර ගිය දෙවැනි ඉන්දීය පිතිකරුවා බවටද පත්විය. ඒ සඳහා ධවාන් ඉනිම් 95 ක් ක්‍රීඩාකර තිබූ අතර ඔහුට වඩා අඩු ඉනිම් සංඛ්‍යාවකදී (ඉනිම් 93 කදී) ලකුණු 4000 සීමාව පසුකළ ඉන්දීය පිතිකරුවා බවට පත්ව සිටින්නේ විරාට් කෝලිය.

ඉන්දීය ඉනිමේ 25 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දිනේෂ් කාර්තික් කඩුල්ල මුවා කළේ යැයි නිගමනය කළ විනිසුරු ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් බවට සංඥ්ඥා කළේය. එහෙත් ඒ මොහොතේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ලබාගැනීමට කාර්තික් පියවරගත් අතර පන්දුව පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ දාරයේ වදින බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරු, ඔහු නොදැවුණ ක්‍රීඩකයෙක් බව ප්‍රකාශ කළේය.

දෙවැනි එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් නායක රෝහිත් ශර්මා ලකුණු 7 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් වූ අතර ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 14 ක් ලෙස සටහන් විය.

ශර්මාගේ දැවීයෑමෙන් අනතුරුව ධවාන් සමග එක්වූ ශ්‍රියාස් අයියර් (65), ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ සුරංග ලක්මාල් අතට උඩ පන්දුවක් දෙමින් අයියර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මෙම තරගයේදී පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සුවය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා කටයුතු කළ නමුත් ඔහු සහ අකිල ධනංජය හැරුණු කොට සෙසු පන්දු යවන්නෝ කඩුලු දවාගැනීමට අසමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි. ලකුණු පුවරුව 160 ක් ලෙස සටහන් වන විට තෙවැනි කඩුල්ල ලෙස උපුල් තරංග දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වූ අතර එතැන් සිට ලකුණු 55 ක් තුළ කඩුලු 8 ක් දැවීයාම කැපී පෙනුණි. 17 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 සීමාව පසුකර ගිය අතර 26 වැනි ඕවරයේදී ලකුණු 150 සීමාව පසුකර ගියේය.

උපුල් තරංග (95) සහ සධීර සමරවික්‍රම (42) පන්දුවට පහර දෙමින් සිටින විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය එක් අවස්ථාවකදී 7.22 දක්වා ඉහළ නැගි අතර ඔවුන් දෙදෙනා දැවී යාමත් සමගින් ලකුණු ලබාගැනීමේ වේගය කෙමෙන් කෙමෙන් පහත වැටුණි.

හර්දික් පාණ්ඩ්‍යා විසින් යවන ලද තරගයේ නවවැනි ඕවරයේදී හතරේ පහර පහක් ගසමින් ලකුණු 20 ක් කණ්ඩායමට එකතු කිරීමට උපුල් තරංග සමත් වුවද, යළි රිද්මයට පැමිණි පාණ්ඩ්‍යා සිය ඕවර 10 ලකුණු 49 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගැනීමටද සමත් විය.

පසුගිය තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ කුල්දීප් යාදව් නැවත කණ්ඩායමට එක්වෙමින් තරගයේ තීරණාත්මක කඩුල්ල වූ උපුල් තරංග දවාගැනීමට සමත් විය. චයිනමන් පන්දු යවන්නකු වන කුල්දීප් යාදව් සිය ඕවර 10 ලකුණු 42 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර පා දඟ පන්දු යවන්නකු වන යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3 ක් දවාගනිමින් සිය ඕවර 10 ලකුණු 46 කට සිමා කළේය.

සිය 36 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 10 ක් සමගින් පන්දු 36 කදී රැස්කළ උපුල් තරංග, ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවී ගියේය. කුල්දිප් යාදව්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවීගිය තරංග පන්දු 82 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු රැස් කළේය. විරාට් කෝලි (1460) සහ රෝහිත් ශර්මාට (1286) පසුව මෙම වසරේදී ලකුණු 1000 සම්පූර්ණ කළ තෙවැනි පිතිකරුවා බවට පත්වීමටද තරංග (1011) අද සමත් විය.

තරංග සමග එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 113 කදී ලකුණු 121 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සධීර සමරවික්‍රම ලකුණු 42 ක් රැස්කර සිටියදී යුස්විදර් චාහල්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. වේගවත් ආරම්භයක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක ඉදිරියට පැන පහරක් ගැසීමට යාමේදී මිඩෝන්හී පන්දු රකිම්න් සිටි රෝහිත් ශර්මා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය.

තනි තනිව සහ කණ්ඩායමක් වශයෙන් අපි කුමක් කළ යුතු වන්නේ දැයි තේරූම් ගැනීමට අවශ්‍ය යැයි කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පැවසීය. තරගයේදී එක්දින වරම් හිමිකරගත් වොෂින්ටන් සුන්දර් උණ සැදීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර කුල්දීප් යාදව් නැවත කණ්ඩායමට කැදවා ඇති බවද ශර්මා පැවසීය.

පන්දුවට පහරදීම සදහා තණතීරූව යෝග්‍ය බවත් මෙම තණතීරූව සෑමවිටම පිතිකරුවන්ට යෝග්‍ය වූ බවත් කාසියේ වාසිය පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පැවසීය. කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ළහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්වී ඇති බවද එහිදී තිසර සඳහන් කර සිටියේය.

 

තරගයේ විශේෂ අවස්ථා...

 

 


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.