Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුම්බායිහිදී අද (24 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 5 කින් ජයගත් ඉන්දියා තරගාවලියද 3-0 ක් ලෙස ජයගැනීමට සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

හයවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිනේෂ් කාර්තික් ලකුණු 18 ක් සහ මහේන්ද්‍ර සිං දෝනී ලකුණු 16 ක් රැස්කරමින් තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිට ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 32 ක් රැස්කර සිටි මනිෂ් පාන්ඬේ පස්වැනි කඩුල්ල ලෙස දැවීයන විට ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණයට තවත් අවශ්‍ය වූයේ ලකුණු 27 ක් පමණි.

තෙවැනි කඩුල්ල සදහා පන්දු 38 කදී ලකුණු 42 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණයට අඩිතාලම දැමීමට ශ්‍රීයාස් අයියර් සහ මනිෂ් පාන්ඬේ සමත්වූහ. පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස්කර සිටි ශ්‍රීයාස් අයියර් අවාසනාවන්ත දුවද්දි දැවීයාමකට හසුව දැවී ගියේය.

සුපුරුදු රිද්මයට පැමිණෙමින් ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට උත්සහ ගනිමින් සිටි රෝහිත් ශර්මා ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව හතරේ සීමාව ආසන්නයේදී දක්ෂ අන්දමින් රැක ගැනීමට කුසල් පෙරේරා සමත්විය. පන්දු 20 කට මුහුණදුන් රෝහිත් ශර්මා දැවීයන විට හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 27 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වා පසුගිය තරග දෙකේදී අර්ධ ශතක රැස්කළ ලෝකේෂ් රාහුල් ස්ථාවර වීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත්විය.

රාහුල් විසින් කඩුල්ල මුවා කළේ යැයි පන්දු යවන්නා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු විසින් දැවි ගිය බවට තීරණය කළේය. ඉන් සැහීමකට පත්නොවූ ලෝකේෂ් රාහුල් විසින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පූණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින්ද ප්‍රධාන විනිසුරුගේ තීරණය අනුමත කළේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි දසුන් ශානක සහ අකිල ධනංජය අටවැනි කඩුල්ල සදහා පන්දු 15 කදී ලකුණු 24 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. පන්දු 24 කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 29 ක් රැස්කිරීමට දසුන් ශානක සමත්වූ අතර හතරේ පහර දෙකක් සමගින් පන්දු හතකදි ලකුණු 11 ක් රැස්කිරීමට අකිල ධනංජය සමත්විය.

මොහොමඞ් සිරාජ් යවන ලද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයේදී ලකුණු 18 ක් උදුරා ගැනීමට දසුන් ශානක සහ අකිල ධනංජයට අවස්ථාව හිමි වූහ.

හත්වැනි කඩුල්ල ලෙස ලකුණු 36 ක් ලබාසිටි අසේල ගුණරත්න දැවීයන විටදි දසුන් ශානක සමගින් එක්ව පන්දු 27 කදී රැස්කර තිබූණේ ලකුණු 26 ක් පමණි.

ධනුෂ්ක ගුණතිලකට සහ තිසර පෙරේරාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදුන් ඉන්දිය පන්දු යවන්නෝ පස්වැනි සහ හයවැනි කඩුලු ලෙස ඔවුන් දවාගන්නා විට ශ්‍රි ලංකා ලකුණු පුවරුව 85 ක් ලෙස දිස්විය.

සධීර සමරවික්‍රම සහ අසේල ගුණරත්න එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 30 කදී ලකුණු 38 ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට සමත් වුවද ලකුණු 21 ක් රැස්කර සිටි සධීර සමරවික්‍රම දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවය බිඳ වැටුණි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 18 ක් වන විටදී මුල් පෙළ පිතිකරුවන්වූ නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග සහ කුසල් පෙරේරා නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වූහ.

කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් දෙක බැගින් සිදුකර තිබූ අතර ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ චතුරංග ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්කර ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක කණ්ඩායමට කැඳවූහ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් පස් දෙනෙකු අද තරගයේදී ක්‍රීඩාකරනු ලැබීය.

ජස්ප්‍රීට් බුම්රා සහ යුස්වේන්ද්‍ර චහල් අද තරගයේදී විවේක ගැන්වීම හේතුවෙන් විස්සයි20 වරම් හිමිකර ගත් වොෂින්ටන් සුන්දර් සහ මොහොමඞ් සිරාජ ඉන්දිය කණ්ඩායමට කැඳවූහ. ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් විස්සයි20 තරග සදහා කැඳවූ ලාබාලම ක්‍රීඩකයා වීමට වොෂින්ටන් සුන්දර් සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

 

 


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.