Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 17 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. එහිදී වේගවන් පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකුර් රහීම්, පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
සබීර් රෙහෙමාන් (27) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රහීම් සමත් විය. එහෙත් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු රැස්කරමින් සිටි රෙහෙමාන්ගේ කඩුල්ල බිඳ දැමීමට ශර්දුල් ඨාකුර් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
නායක මහමදුල්ලාට රියාද්ට (11) සහ මෙහෙදි හසන්ට (7) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉන්දීය පන්දුයවන්නෝ ඉඩක් නොදුන් අතර යුස්වින්දර් චාහල්ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලාද, මොහොමඞ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ සුරේෂ් රයිනා අතට උඩ පන්දුවක් දෙමින් හසන්ද පිටියෙන් ඉවත්ව ගියහ.
දක්ෂ පන්දුයැවීමක නිතර වූ වොෂිංග්ටන් සුන්දර්, මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විට බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. එහිදී ටමීම් ඉක්බාල්ගේ (27) සහ සෞම්‍ය සාකර්ගේ (1) කඩුලු බිඳහෙළු සුන්දර්, ලිටන් දාස් දවාගත්තේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ සහායද ඇතිවය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. ඉන්දීය ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ නායක රෝහිත් ශර්මා පන්දු 61 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවීයෑමටකට ලක්විය.
ශිකර් ධවාන් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී සුරේෂ් රයිනා (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි ධවාන්ගේ කඩුල්ල බිඳ දැමීමට රුබෙල් හුසේන් සමත් විය. හුසේන්ගේම පන්දුවක් හමුවේ සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 30 කට මුහුණදී සිට රයිනා, හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණි.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා රියාද් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමට ජයදේව් උනාඞ්කට් වෙනුවට මොහොමඞ් සිරාජ් කැඳවා සිටි අතර බංග්ලාදේශ කණ්ඩායමට ටස්කින් අහමඞ් වෙනුවට අබු හයිදර් කැඳවා සිටියේය.
බංග්ලාදේශ - ඉන්දීය නිදහස් කුසලාන තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.