Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකාව සෙල්ලමකට ගනිති

ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකාව සෙල්ලමකට ගනිති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෙල්ලමකට ගත් මුරලි විජේ (128), චෙටේස්වාර් පුජාරා (නොදැවී 121) සහ විරාට් කෝලි (නොදැවී 54) නාග්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ආධිපත්‍යය ගොඩනැංවූහ. මුරලි විජේ සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පුජාරා නායක විරාට් කෝලි  සමග එක්වෙමින් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 96 ක අඛණ්ඩ සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 312 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 107 කින් ඉදිරියෙන් සිටියේය.

තේ පානයෙන් පසුව ලකුණු රැස්කිරීම වේගවත් කළ විරාට් කෝලි සහ පුජාරා ඕවර 33 කදී ලකුණු 127 ක් උදුරා ගත්හ. වේගවත් නමුත් අලංකාර පිතිහරඹයක නිරත වූ කෝලි සිය ලකුණු 54 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 70 කට පමණි. ඒවායින් 6 ක් හතරේ සීමාව පසුකර ගොස් තිබිණ.  

පුජාරා කිසිම ආකාරයේ තර්ජනයකින් තොරව සිය ඉනිම ගොඩනැංවූ අතර දිනය නිමා වන විට පන්දු 284 කට මුහුණ දෙමින් හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් පෞද්ගලික අවශ්‍යතාවක් මත කණ්ඩායමෙන් ඉවත් වීම හේතුවෙන් ටෙස්ට් පිලේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට පිවිසි මුරලි විජේ සිය පුනරාගමනයේදී අගනා ශතකයක් ලබාගත්තේ ටෙස්ට් පිතිකරුවකු සතුවිය යුතු පහර පරාසය මෙන්ම සංයමයද මේ යයි කදිමට විදහා පෙන්වමිනි. පන්දු 187 කින් වාර්තා වූ විජේගේ ශතකය හතරේ පහර 9 කින් සහ රංගන හේරත් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරක් ඇතුළත් වී තිබිණ.

මුරලි විජේ ඉන්දීය පිලට එක්වූයේ මාස 8 කට පසුවය.

ඉන්දිය ආරම්භක පිතිකරුවා ලකුණු 61 ක් ලබා සිටියදී ලැබුණු පහසු උඩපන්දුවක් ඩිල්රුවන් පෙරේරා අතින් ගිළිහී ගියේය. ළහිරු ගමගේගේ පන්දුවකට ගැසූ ඕන් ඩ්‍රයිව් පහරින් ඉහළ ගිය පන්දුව ෂෝට් මිඞ් ඕන් හි සිටි ඩිල්රුවන්ට රැකගත නොහැකි විය. අද දිනයේ ශ්‍රී ලංකා පිලට දුන් දෙවැනි අවස්ථාවත් ඇතැර දැමීමෙන් ප්‍රයෝජන ගත් ඉන්දියානු පිතිකරුවෝ දිවා ආහාරයේ සිට තේ පානය දක්වා ලකුණු 88 ක් ලබාගත්හ.

ලකුණු සොයා යාමේදී ඉන්දීය පිතිකරුවන්ට නිශ්චිත සැලැස්මක් තිබිණ. රංගන හේරත් හමුවේ තමන්ගේ කඩුලු පරෙස්සම් කරගත් ඉන්දියානුවෝ වමත් දඟ පන්දු යවන්නාගේ ඕවර 24 න් ලබාගත්තේ ලකුණු 45 ක් පමණි.

එහෙත් ඩිල්රුවන් පෙරේරා විසින් යවන ලද ඕවර 21 කින් ලකුණු 117 ක් උදුරා ගැනීමට ඔව්හු පසුබට නොවූහ.
වේග පන්දු යවනනන් සම්බන්ධයෙන්ද ඉන්දීය පිතිකරුවන් අනුගමනය කළේ එවන් උපක්‍රමයකි. මනා රිද්මයකින් යුතුව පන්දු යැවූ ළහිරු ගමගේ හමුවේ පිත්ත වීසි නොකළ ඔව්හු සුරංග ලක්මාල් (58/0) සහ දසුන් ශානක (43/0) දෙදෙනා විසින් යවන ලද ඕවර 31 කදී ලකුණු 105 ක් ලබාගත්හ.

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා සඳහා ...


අදහස් (0)

ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකාව සෙල්ලමකට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.