Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ඉදිරිපත් වීමට සූදානම් වන බව එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.
මාස කිහිපයකට ඉහතදී එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී එංගලන්ත පිලේ පිතිහරඹ උපදේශකවරයා වශයෙන් කටයුතු කළ මහේල 2017 අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේය. සිය පළමු උත්සාහයේදීම අයි.පී.එල්. ශූරතාව මුම්බායි ඉන්දියන්ස් පිලට දිනාගැනීමට මහේල උපකාරී විය.
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් විස්සයි:20 තරග වලට සහභාගි වීමට ගිවිසුම් අත්සන් කර සිටිය මහේල ජයවර්ධන හදිසියේම එම ගිවිසුමෙන් ඉවත් වූයේය. ටොම් මූඩි සහ රිචඞ් පයිබස් යන මහත්වරුද ඉන්දීය පිලේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වී සිටින සෙසු අපේක්‍ෂකයෝ වෙති. මෙම තනතුර සඳහා අයැදුම්පත් යැවිය යුතු අවසන් දිනය වන්නේ ජූලි 9 වැනිදාය.
අන්තර්ජාතික තරග 652 කදී ලකුණු 25,957 ක් ලබා සිටින මහේල ජයවර්ධන පසුගිය මාසයේදී 40 වැනි වියට පා තැබීය.
ඉන්දීය පුහුණුකරු තනතුරෙන් අනිල් කුම්බල් මහතා ඉවත් වීමෙන් පසුව එම තනතුර සඳහා විරෙන්දර් සෙවැග් පත්කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ උනන්දුවක් තිබිණ. එහෙත් මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පුහුණුකරුවා වන ටොම් මූඩිට ඇතැම් ඉන්දීය ක්‍රීඩකයන්ගේ මනාපය හිමිවී තිබේ.
මූඩිගේ ගුරුහරුකම් යටතේ පසුගිය වසරේදී අයි.පී.එල්. කුසලාන දිනාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් විය. කෙසේ වෙතත් මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන ඉදිරිපත් වන්නේ නම් එය ටොම් මූඩි, මහේල ජයවර්ධන සහ විරෙන්දර් සෙවැග් යන තිදෙනා අතරේ තුන්කොන් සටනක් බවට පත්වන බව ඉන්දීය මාධ්‍ය මේ වන විටත් අනාවැකි පළකර තිබේ.
ඉන්දීය පිලේ නායක විරාට් කෝලි සහ අනිල් කුම්බල් අතර තිබූ මතවාද හේතුවෙන් ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් දින දෙකකට පසුව කුම්බල් සිය තනතුර හැර ගියේය. කුම්බල්ගේ ඇතැම් දැඩි තීරණ සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් කෝලි අමනාපයට පත්ව සිටි බව කියැවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් එළිපිට ප්‍රකාශ කිරීම කෝලි ප්‍රතික්ෂේප කර තිබිණ.
ඉන්දීය කණ්ඩායම මේ වන විට පුහුණුකරුවකුගේ දායකත්වය නොමැතිව බටහිර ඉන්දීය කොදෙව්හි තරග කරමින් සිටී. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් උපදේශක කමිටුව වන සව්රව් ගංගුලි, සචින් තෙන්ඩුල්කාර් සහ වී.වී.එස්. ලක්‍ෂමන් එක්ව ඉන්දීය පිලේ මීළඟ පුහුණුකරුවා කවුරුන්ද යන්න තෝරාගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.