සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවත්වෙන පළමු යොවුන් ටෙසට් තරගය දෙවැනි දිනය (18 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 473 ක් ලබා ප්‍රබල තත්වයක පසුවිය.
ඒ අනුව ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ තවත් කඩුලු 5 ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 229 ක් ඉදිරියෙන් සිටිති. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි අයුෂ් බදෝනි ලකුණු 107 ක්ද, නෙහාල් වෙධේරා ලකුණු 81 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
වේගවත් පිතිහරඹයක නිරත වූ බදෝනි පන්දු 115 කදී සිය ශතකය සම්පූර්ණ කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. පන්දු 117 කදී වාර්තා වූ වෙධේරාගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 183 කි.
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 92 ක් ලබා සිටි ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 381 ක් එක්කරගත් අතර එහිදී ඔවුන්ට අහිමි වූයේ කඩුලු 4 ක් පමණි. ඊයේ දිනය නිමාවන විට ලකුණු 26 ක් ලබා නොදැවි කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු අතර්වා තායිඬේ, අද දිනයේදී හතරේ පහර 13 ක් සමගින් සිය ශතකය සම්පූර්ණ කළේය.
තමාගේම පන්දුවක් හමුවේ තමා අතටම පැමිණි උඩපන්දුවක් රැකගනිමින් තායිඬේගේ ඉනිම නිමා කිරීමට කේ.එස්. සේනාරත්න සමත් වූ අතර අද දිනයේදී බිඳවැටුණ කඩුලු 4 න් 2 ක්ම තමන් සතුකර ගැනීමට කේ.වී. පෙරේරා සමත් විය.
ඡායාරූපය - චතුර ඒස්. කොඩිකාර
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.