Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත 2-1 කින් ඉන්දියාව පරදවයි

එංගලන්ත 2-1 කින් ඉන්දියාව පරදවයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝ රූට් (නොදැවී 100) සහ ඔයින් මෝගන් (නොදැවී 88) එක්ව තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 186 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත්විය. ලීඞ්ස්හිදි පැවැති තෙවැනි එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 44.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.

හතරේ පහරක් ගසමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ ජෝ රූට් තමන්ගේ 13 වැනි එක්දින ශතකයද සම්පූර්ණ කරගැනීමට සමත්විය. පන්දු 120 කට මුහුණදුන් රූට්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය. එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ජෝ රූට් හට අනගි සහයක් ලබාදුන් නායක ඔයින් මෝගන් පන්දු 108 කදී නොදැවී ලකුණු 88 ක් රැස්කළ අතර හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

අදිල් රෂීඞ් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ජෝ රූට් සමත්විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 256 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

අදිල් රෂීඞ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ නායක විරාට් කෝලී ලකුණු 71 කට දැවී ගියේය. පන්දු 72 කට මුහුණදුන් කෝලීගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ශීකර් ධවාන් ලකුණු 44 ක් සහ මහේන්ද්‍ර සිං දෝනී ලකුණු 42 ක් රැස්කරමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකවූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ ශර්දුල් ඨාකූර් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඬේවිඞ් විලී සහ පාදඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඞ් කඩුලු 3 බැගින් දවාගනිමින් ඉන්දීය පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 256
(ශීකර් ධවාන් 44, විරාට් කෝලී 71, දිනේෂ් කාර්තික් 21, මහේන්ද්‍ර සිං දෝනී 42, හර්දික් පාණ්ඩ්‍යා 21, බුවනේෂ්වර් කුමාර් 21, ශර්දුල් ඨාකූර් නොදැවී 22, ඬේවිඞ් විලී 40/3, අදිල් රෂීඞ් 49/3)

එංගලන්තය - ඕවර 44.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 260
(ජේම්ස් වින්ස් 27, ජොනී බෙයාර්ස්ටෝ 30, ජෝ රූට් නොදැවී 100, ඔයින් මෝගන් නොදැවී 88)


අදහස් (0)

එංගලන්ත 2-1 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.