Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය කඩුලූ 5 කින් ජය ලබයි

එංගලන්තය කඩුලූ 5 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) එංගලන්ත පිල කඩුලූ 5 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීය. එංගලන්තය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1 ක් බවට පත්විය.

එංගලන්ත පිතිකරුවෝ ලකුණු 236 ක ඉලක්කය  ඕවර 33.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 242 ක් රැස්කළ ද ඩක්වත් ලූවිස් න්‍යායට අනුව එංගලන්තයට ඕවර 35 යේදී ලකුණු 236 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. තරගයේ  ඕවර සංඛ්‍යාව අඩු කරන විට ශ‍්‍රී ලංකා පිලේ කඩුල්ලක් දැවී තිබීම ඉලක්කය අඩු වීමට හේතු විය.

ජෝ රූට් (නොදැවී 48) සහ ජෝස් බට්ලර් (නොදැවී 55) හයවැනි කඩුල්ලට පන්දු 64 කදී ලකුණු 84 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ආහ.

ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ 32 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී ජෝ රූට් ලකුණු 40 ක් ලබා සිටියදී දැවී ගිය ද එම පන්දුව නිපන්දුවක් වීම නිසා නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාවීම දැඩි පාඩුවක් බවට පත්විය. පිතිකරුවන් දෙපළ එම  ඕවරයට ලකුණු 21 ක් රැුස්කිරීමෙන් ශ‍්‍රී ලංකාව වෙතින් තරගය හිලිහී ගියේය.

 ඇන්ජලෝ මැතිව්ස් යැවූ ඉනිමේ 22 වැනි  ඕවරයේ පළමු පන්දුවට ඇලෙක්ස් හේල්ස් ලකුණු 20 දී ලබා දුන් පහසු උඩ පන්දුව ෂෝට් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න බිම දැමීය. එම  ඕවරයේ සිවුවැනි පන්දුවට හයේ පහර ගැසූ හේල්ස් (27) පස්වැනි පන්දුවේදී දැවී යෑමත් සමග පන්දු 9 කදී කඩුලූ තුනක් බිද වැටීමෙන් ඉනිම අඩපණ විය.   

මුයින් අලී පන්දු 40 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑම ශ‍්‍රී ලංකා පිලට ප‍්‍රදාන දීමනාවක් බිදු විය.

ධම්මික ප‍්‍රසාද් කඩුල්ලෙන් පිටතට දෝලනය කළ පන්දුවට ඇලෙස්ටියාර් කුක් (34) කඩුලූ රකින කුමාර් සංගක්කාරට උඩ පන්දුවක් ලබාදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ආරම්භක පිතිකරුවන් වූ මුයින් අලී සහ නායක ඇලෙස්ටියාර් කුක් පන්දු 70 කදී ලකුණු 84 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් නිහඩ කර තැබීමට සමත් වූහ. එංගලන්ත පිලට පළමු අධිවේගී  ඕවර 7 තුළදී ලකුණු 45 ක් එකතු විය.

ළහිරු තිරිමාන්න අංක හය ස්ථානයට ගැලපෙන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.
ළහිරු තිරිමාන්න සහ ධම්මික ප‍්‍රසාද් 8 වැනි කඩුල්ලට පන්දු 14 කදී ලකුණු 31 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 242 ක් දක්වා රැගෙන ආහ.

ධම්මික වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 8 කදී හතරේ පහර සහ හයේ පහර සමගින් ලකුණු 22 ක් රැස්කිරීමට සමත් විය.

කුමාර් සංගක්කාර සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 89 වැනි අර්ධ ශතකය ලෙස පන්දු 62 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස් කළේය.

කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට පන්දු 86 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප‍්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියදී වේග පන්දු යවන ක‍්‍රිස් ජෝර්දන්ගේ පන්දුවකට කඩුල්ලෙන් මෑත්වී ගැසූ පහර පිත්තේ කෙළවරේ වැදී කඩුලූ රකින්නා උඩ පන්දුවක් ලෙස රැකගැනීමෙන් දැවී ගියේය.

පළමු අධිවේගී  ඕවර 7 අවසන් වන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් රැස්කර සිටියේය.

ශ‍්‍රී ලංකා පිලේ මැද පෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් නැවත කැදවීම් ලැබූ තිළිණ කණ්ඩම්බි බලාපොරොත්තු සුන් කරමින් පන්දු දෙකකදී ලකුණු නොලබා දැවී ගියේය.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 23 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීම නිසා ඉනිමක්  ඕවර 35 ක තරගයක් ලෙස නැවතත් පස්වරු 6.15 ට ආරම්භ විය.

වර්ෂාව හේතුවෙන් තරගය පැය තුනයි විනාඩි 40 ක පමණ කාලයත් අත්හිටුවා තිබූ අතර තරගය පැයක් ඉදිරියට ගැනීමත් සමග  ඕවර 30 ක් අහිමිවිය. පළමු අධිවේගී  ඕවර සංඛ්‍යාව 7 ක් වන අතර පිතිකරු අධිවේගී  ඕවර සංඛ්‍යාව 4 කි.
තරගය පස්වරු 2.30 ට ආරම්භ වී විනාඩි 10 කින් පමණ පස්වරු 2.41 ට වර්ෂාව ඇද හැලූණි.  

තරගය අත්හිටු වන විට ශ‍්‍රී ලංකාව  ඕවර 2 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු නොලබා පහසු උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

දැඩි වර්ෂාවක් පතිත වුවද ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබීම නිසා නැවත ආරම්භ කිරීමට හැකි තත්ත්වයකට පත්විය.  

වර්ෂාව ඇද හැළීමට පෙර තරගය අත්හිටුවා ආවරණ යෙදීම ආරම්භ කළ අතර වර්ෂාව ඇද හැළෙන විට ක‍්‍රීඩාංගණයේ වැඩි ප‍්‍රමාණයක් ආවරණය කර තිබුණි. දැඩි වර්ෂාවක් ඇද හැලූණු අතර ආවරණ මෙන්ම හතරේ සීමාවෙන් පිටත ගංගාවක් සේ දිස්විය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මහේල ජයවර්ධනගේ ස්ථානයට තිලිණ කණ්ඩම්බි මෙම තරගයට කැදවා තිබුණි.
 එංලන්ත පිලේ වෙනස්කම් තුනක් කරමින් ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ජෝර්දන් සහ බෙන් ස්ටෙකිස් කැදවා සිටි අතර ඉයන් බෙල්,  ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් සහ හැරි ගනී යන ක‍්‍රීඩකයෝ ඉවතට විසිවූහ.

දෙරට අතර සිවුවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මේ මස 7 වැනිදා දිවා තරගයක් ලෙස පැවැත්වේ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 


අදහස් (0)

එංගලන්තය කඩුලූ 5 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.