Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයට වාර්තාගත ජයක්

එංගලන්තයට වාර්තාගත ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තය සහ වත්මන් ලෝක එක්දින ක‍්‍රිකට් අනුශූරයන් වන නවසීලන්තය අතර බර්මින්හැම්හිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 210 ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත පිල ඊයේ (09 දා) සමත් විය. මෙම ජයග‍්‍රහණය එංගලන්ත එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලද දැවැන්තම ජයග‍්‍රහණය ලෙසින් වාර්තා වේ.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත පිලට බාර කළ අතර තරගයේ පළමු පන්දුවෙන්ම එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි දවා ගැනීමට ටේ‍්‍රන්ට් බෝල්ට් සමත් විය.

එංගලන්ත ඉනිමේ ලකුණු 50 වාර්තා වන විට දෙවැනි කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු 20 කට පිටියෙන් ඉවත් කිරීමට යළිත් ටේ‍්‍රන්ට් බෝල්ට් සමත් විය. අනතුරුව ක‍්‍රියාත්මක වු ජෝ රූට් (104) සහ ජෝස්  බට්ලර් (129) වාර්තා කළ ශතක හමුවේ එංගලන්තය එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමක ලැබු වැඩිම ලකුණු සංඛ්‍යාව (408) වාර්තා කළේය. එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හමුවේ අසරණ වු ලෝක ක‍්‍රිකට් අනුශූරයන්ගේ ඉනිම පන්දුවාර 31.1 කදී ලකුණු 198 කට සීමාවිය.

මිනිත්තු 223 කදී පන්දුවාර 50 කට මුහුණ දුන් එංගලන්ත පිතිකරුවෝ කඩුලූ නවයක් දැවී යන අතරවාරයේ ලබාගත් ලකුණු 408 න් ලකුණු 236 ක්ම හයේ සහ හතරේ පහරවලින් වාර්තා කිරිමට සමත් වූහ. එහිදි එංගලන්ත ඉනිම සඳහා හතරේ පහර 38 ක් සහ හයේ පහර 14 ක් එල්ල කිරීමට පිතිකරුවෝ සමත් වූහ. එංගලන්ත පිල මීට ඉහත එක්දින තරගයකදී වාර්තා කර තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව 391 ක් ලෙස සටහන් වේ. එම ලකුණු සංඛ්‍යාව 2005 දී බංග්ලාදේශයට එරෙහිව වාර්තා කර තිබේ.

මෙම ජයග‍්‍රහණයට පෙර එංගලන්තය විසින් වාර්තා කළ තිබූ විශාලතම ජයග‍්‍රහණය 1975 වසරේදී ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව වාර්තා කර තිබේ. එම තරගයෙන් ලකුණු 202 ක ජයක් ලැබීමට මයික් ඩෙනිස්ගේ නායකත්වයෙන්  යුත් එංගලන්ත පිල සමත් විය.

අදාළ ජයග‍්‍රහණය ලොව 24 වැනි විශාලතම එක්දින තරග ජයග‍්‍රහණය ලෙසින් සටහන් වන අතර ලොව එක්දින කණ්ඩායමක් ලැබු 13 වැනි ඉහළම මුලූ ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වේ. එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 400 සීමාව ඉක්මවා ගිය 16 වැනි අවස්ථාවද මෙය වේ.

වාර්තා ගණනක් බිහිවූ මෙම එක්දින ක‍්‍රිකට් තරගයේදී ජෝස් බට්ලර් සහ අදිල් රෂීඞ් එකතුව හත්වැනි කඩුල්ලට නව ලෝක වාර්තාගත සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා පන්දු 105 කදී ලකුණු 177 ක සබඳතාවක් එක් කරමින් අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූහ. බට්ලර් සහ රෂීඞ් විසින් බිද දමනු ලැබුවේ 2001 වසරේදී සිම්බාබ්වේ ක‍්‍රීඩකයන් වූ ඇන්ඩි ෆලවර් සහ හීත් ස්ටි‍්‍රක් එකතුව හත්වැනි කඩුල්ලට පිහිටුවා තිබු ලකුණු 130 වාර්තාවයි.

මිනිත්තු 105 කදී  පන්දු 77 කට මුහුණදී හතරේ පහර 13 ක් සහ හයේ පහර පහක් සමග ලකුණු 129 ක් ලබා ගත් ජොස් බට්ලර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. අදාළ ශතකය බට්ලර්ගේ දෙවැනි එක්දින ශතකය ලෙසින් වාර්තා වේ.

බට්ලර් සමග ලෝක වාර්තාගත සබඳතාවකට දායක වු අදිල් රෂීඞ් අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 50 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 69 ක් වාර්තා කළේය. එය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකය ලෙසින් වාර්තා වේ.

පළමු කඩුලූ 2 පන්දුවාර අටක් ගත වීමට පෙර දැවී ගොස් සිටි එංගලන්ත පිලට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ පළමු අඩිතාලම සකස් කළ අංක තුන පිතිකරු ජෝ රූට් පන්දු 78 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 104 ක්ට ලබා ගත්තේය. එය ඔහුගේ පස්වැනි එක්දින ශතකය ලෙස වාර්තාවේ.

නවසීලන්ත පිතිකරුවන් අතරින් අඩුම ප‍්‍රහාරයකට ලක්වු පන්දු යවන්නා වු ටේ‍්‍රන්ට් බෝල්ට් සිය පන්දුවාර දහය ලකුණු 55 කට අවසන් කරමින් කඩුලූ 4 ක් දවා ගත්තේය. වැඩිම ප‍්‍රහාරයකට ලක්වු නවසිලන්ත පන්දු යවන්නා වුයේ මිචෙල් මැක්ලෙගන්ය. ඔහුගේ පන්දුවාර 10 තුළදී ලකුණු 93 ක් ලබා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.

ලෝක ක‍්‍රිකට් අනුශූරයන් වන නවසීලන්ත පිල වෙනුවෙන් වාර්තා වු එකම අර්ධ ශතකය රෝස් ටේලර් විසින් වාර්තා කරන ලදී. ඔහු මිනිත්තු 100 ක් පුරා කඩුල්ල රැක ගනිමින් පන්දු 54 කට මුහුණදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමග ලකුණු 57 ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිම බිද දැමීමේදී ස්ටීවන් ෆින් සහ අදිල් රෂීඞ් එකතුව කඩුලූ අටක් දවා ගත්හ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන 12 වැනිදා ද  ඕවල් ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රි තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය.


එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලූ 9ට ලකුණු 408 යි.
(ජෝ රූට් 104, ඉයන් මෝර්ගන් 54, ජෝස් බට්ලර් 129, අදිල් රෂීඞ් 69, ටේ‍්‍රන්ට් බෝල්ට් 55/4, මැක්ලෙගන් 93/2, ග‍්‍රාන්ට් එලියට් 57/2 යි.)

නවසීලන්තය පන්දුවාර 31.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 198 යි.
(මාටින් ගප්ටිල් 22, කෙන් විලියම්සන් 45, රෝස් ටේලර් 57, ස්ටිවන් ස්මිත් 35/4, අදිල් රෂීඞ් 55/4 යි.)

 


අදහස් (0)

එංගලන්තයට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.