Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (1 වැනිදා) සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව පාකිස්තානයට වඩා තවත් ලකුණු 68 ක් පසුපසින් සිටී. දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි නායක ජෝ රූට් හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි අතර මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඩොමිනික් බේස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් වන විට එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු කීටන් ජෙනින්ස් පිටියෙන් ඉවත් කිරීමට ෆාහීම් අෂ්රෆ් සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ඔහු හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියේය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ජෝ රූට් සමග එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක්, අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ හසන් අලීගේ පන්දුවක් හමුවේ සර්ෆරාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට එංගලන්ත වේග පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ස්ටුවට් බ්‍රෝඞ්, ජේම්ස් ඇන්ඩසන් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම (අසාර් අලී සහ ඉමාම් උල්හක්) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ ස්ටුවට් බ්‍රෝඞ්, ඉන් නොනැවතී උස්මාන් සලහුදීන්ගේ ඉනිමද ලකුණු 4 කට සීමා කළේය.

ඬේවිඞ් මැලන්ගේ සහ ඇලිස්ටෙයාර් කුක්ගේ සහයද ඇතිව හාරිස් සොහේල් (28) සහ අසාඞ් ෂෆීක් (27) දවාගත් ක්‍රිස් වෝක්ස්, එහිදී හසන් අලී පිටියෙන් ඉවත් කළේ තමගේ පන්දුවක් හමුවේ තමා වෙතටම පැමිණි උඩ පන්දුවක් රැකගනිමිනි.

නායක සර්ෆරාස් අහමඞ් ලකුණු 14 කට දවාගනිමින් පාකිස්තාන මැද පෙළ අඩපණ කළ ජේම්ස් ඇන්ඩසන්, වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදෙමින් පසුපෙළ පිතිකරුවන් වූ ෆාහිම් අෂ්රෆ් (0) සහ මොහොමඞ් අමීර් (13) ද දවාගත්තේය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශඩාබ් ඛාන් (56), සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් අලංකාර කළේය. අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව කීටන් ජෙනින්ස් අතට උඩපන්දුවක් දෙමින් පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ සෑම් කරන්ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවටද පත්වෙමිනි.

පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 174
(හාරිස් සොහේල් 28, අසාද් ෂෆීක් 27, ශඩාබ් ඛාන් 56, හසන් අලී 24, ස්ටුවට් බ්‍රෝඞ් 38/3, ජේම්ස් ඇන්ඩසන් 43/3, ක්‍රිස් වෝක්ස් 55/3)

එංගලන්තය පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 106
(ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනින්ස් 29, ජෝ රූට් නොදැවී 29)

-036


අදහස් (0)

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.