Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින සංචිතයෙන් මාලිංග හැළෙයි

එක්දින සංචිතයෙන් මාලිංග හැළෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් හිටපු නායක ලසිත් මාලිංග හැලී ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියකදී ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ලසිත් මාලිංග ලබන මස මැද දී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා ඇතුළත් කර නැත.

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ජනවාරි මාසයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (23 වැනිදා) නම්කරන ලදි.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම සංචිතයට ලසිත් මාලිංග ඇතුළත් නොවන නමුත් ඉන්දීය සංචාරයට තෝරා නොගත් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර තිබේ. විශේෂත්වය වන්නේ මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම්කර නොතිබීමයි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

වසර 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග එතැන් සිට දිගින් දිගටම සීමිත ඕවර තරග වලට සහභාගි වූයේය. පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි නමුත් ගෙවී යමින් පවතින 2017 වසරේ මැද භාගයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් කණ්ඩායමට එක්වූ ලසිත් මාලිංග එයින් මාස කිහිපයකට පසුව පැවැති එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමටත් තෝරා ගන්නා ලදි. එසේ වුවත් මේ වසරේදී ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය මාලිංගට අහිමි වූවා පමණක් නොවන ඉන්දියාවේදී පැවැති විස්සයි-20 තරගාවලියේදීත් ඔහුව විවේක ගන්වන ලද බව තේරීම් කමිටුව නිවේදනය කළේය.

2017 වසරේදී එක්දින තරග 13 ට ක්‍රීඩා කළ මාලිංග එම තරග 13 දීම දවාගෙන ඇත්තේ කඩුලු 10 ක් පමණි. ඒ අතරවාරයේදී මාලිංගගේ පන්දු යැවීම හමුවේ ලකුණු 623 ක් ලබාගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වූ අතර මේ වසරේ එක්දින තරගයකදී මාලිංගගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 62.30 කි. තරගයකදී කළ හොඳම පන්දු යැවීම ලකුණු 44 කට කඩුලු 2 ක් දවාගැනීමයි. මාලිංග නායකත්වය දැරූ තරග දෙකද පරාජය විය.

බංග්ලාදේශ සංචාරය සඳහා තෝරා ගන්නා ලද එක්දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාටම සංචාරය ආරම්භ වනතුරු දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා නොකරන ලෙසත් දැනුම් දී තිබේ. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් මත කරන ලද දැනුම් දීමකි. තුන්කොන් තරගාවලිය සඳහා පුහුණුවීම් මේ මස 28 වැනිදා ආරම්භ වේ.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුශංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන් සහ චතුරංග ද සිල්වා

 


අදහස් (0)

එක්දින සංචිතයෙන් මාලිංග හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.