Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අනුමාන අවාසියට තිබියදීත් නොසැලී අභියෝගයට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් (නොදැවී 84) සහ ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 75) පෝට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 8 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. තරගයේ තුන්වැනි දිනය වූ අද (23 වැනිදා) ලබාගත් මෙම ජයත් සමගින් තරග 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී එවන් දස්කමක් කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසින්ද ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවෝ දෙදෙනා අපහසුතාවකින් තොරවම ලකුණු 197 ක ඉලක්කය කරා අවතීර්ණ වූහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලිය සඳහා පිටත්වූයේ මාස 5 ක කාලයක් තුළ කිසිම තරගයක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ කණ්ඩායමක් ලෙසිනි. එහෙත් ඩර්බන් ටෙස්ට් තරගයේදී ඇදහිය නොහැකි ජයක් ලබාගත් ශ්‍රී ලාංකිකයෝ පෝර්ට් එළිසබෙත්හිදී ඉතිහාසය නිර්මාණය කළහ.
“මටත් කණ්ඩායමටත්, වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක් දැනෙනවා. දකුණු අප්‍රිකාවට ඇවිල්ලා සෙල්ලම් කරන එක ලේසි දෙයක් නෙමේ. ඒ වගේ තත්ත්වයකදී ටෙස්ට් තරගාවලිය 2-0 කින් දිනනවා කියන්නේ අති විශිෂ්ට දස්කමක්” යයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නවතම නායකයා වන දිමුත් කරුණාරත්න පැවසීය.
පසුගිය වසර අවසානයේදී ආරම්භ වූ නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියානු සංචාර වලදී ශ්‍රී ලංකා පිලේ නායකයා වූ දිනේෂ් චන්දිමාල් මෙවර තරගාවලියෙන් ඉවත් කරනු ලැබ තිබිණ. චන්දිමාල් වෙනුවට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ දිමුත් කරුණාරත්න නායකත්වයට පත්කරනු ලැබිණ.
මෙය කරුණාරත්න නායකයකු වශයෙන් මුහුණ දුන් පළමු වැනි තරගාවලියයි.
ඕෂධ ප්‍රනාන්දු විසින් ජයග්‍රාහී ලකුණ ලබාගැනීමෙන් පසුව පිටිය මැදට දිවගිය ඇන්ජලෝ පෙරේරා පළමුව පිතිකරුවන් දෙදෙනාට අතට අත දී සුබ පැතීය. අනතුරුව කඩුල්ලේ ඉන්නක් ගලවාගත් ඇන්ජලෝ එය ගෙනැවිත් නායක දිමුත් කරුණාරත්න අත තැබීය. ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි නමුත් ඇන්ජලෝ පෙරේරාට එකම ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා කළ නොහැකි විය.
“අපි හුඟාක් වෙහෙස මහන්සි වී කටයුතු කළා. ඒ වගේම මේ හාදයෝ ටික තමන්ගේ ක්‍රීඩාවෙන් විනෝදයක් ලැබුවා. අපට මේ ඓතිහාසික අවස්ථාව නිර්මාණය කරන්න ලැබුණේ ඒ නිසයි”
“මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් පුද කරනවා. ඔවුන් අපට දිගින් දිගටම සහයෝගය දුන්නා විතරක් නෙමේ නිතරම, අප පරාජය වන විටදීත්, අප සමග හිටියා. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න අපට ඕනෑකම තිබුණා” යයිද දිමුත් කරුණාරත්න පැවසීය.
තරගයේ තුන්වැනි දිනය වූ අද (23 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කළේ ලකුණු 60 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදීය. ඇත්ත වශයෙන්ම එය සටහන් විය යුතුව තිබුණේ ලකුණු 60 කට කඩුලු 3 ක් වශයෙනි. මක්නිසාද යත් ලසිත් ඇඹුල්දෙණිය තුවාල ලබා සිටීම නිසා පන්දුවට පහර දියහැකි තත්ත්වයක නොසිටියේය.
තත්ත්වය එසේ වුවත්, තරගාවලිය පුරම කළ පරිදි, ශ්‍රී ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ තරමක් ආක්‍රමණශීලී වූහ. සිය දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු පන්දු 69 කදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය. එය කුසල් මෙන්ඩිස්ට කදිම උත්තේජනයක් විය.
පන්දුව හොඳින් පෙනෙන විට නිරන්තරයෙන් පහර කරා යාමට උත්සුක වන කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 13 කින් සමන්විත විය. එහෙත් දෙදෙනාගෙන් වඩාත් ආක්‍රමණශීලී වු පිතිකරුවා ඕෂධ ප්‍රනාන්දු විය. පන්දු 106 කට මුහුණ දුන් මෙම දකුණත් පිතිකරුවා හතරේ පහර 10 කින් සහ හයේ පහර දෙකකින් සිය ඉනිම අලංකාර කළේය. ජයග්‍රහණයට ලකුණු 7 ක් මෑතින් සිටියදීත් කේෂව් මහාරාජ් හමුවේ නොබියව ඉදිරි පාදයට පැමිණි ඕෂධ ‘ලෝන්ග් ඕන්’ කලාපය හරහා පන්දුව නරඹන්නන් අතරට යැවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලි හයකින් තරගාවලි දෙකක්ම ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිවය. පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව පරදවා ජයගත්තේය.
දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි කීවේ අසාර්ථක වූ පිතිකරුවන් පරාජයේ වගකීම බාරගත යුතු බවයි.
“අපේ පිතිකරුවන් මේ තරගාවලිය පුරාම දුර්වල වුණා. මා හිතන්නේ මේ තරගාවලිය පුරාම, තණතීරු පිතිහරඹයට හොඳ තත්ත්වයක තිබියදීත්, දෙපිලේම පිතිකරුවන් ඒ තරම් හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒත්, මේ තරගාවලියේ පළමු වතාවට, අවසන් ඉනිමේදී, පිතිකරුවන් ඒ දේ කළා”
“මේ තරගාවලියේදී වෙන්න තිබුණ දේ අද තමයි අපි පළමු වරට දැක්කේ. දෙන්නෙක් එකතු වෙලා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තා”
“මේ වගේ තණතීරුවකදී අපි මීට වඩා ලකුණු ලබාගන්න ඕනේ” යයිද ෆෆ් ඩු ප්ලෙසි පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.