Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාවට වාර්තාගත ජයක්

ඕස්ට්‍රේලියාවට වාර්තාගත ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඕනෑම කණ්ඩායමක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක්විය. 

කොලිඩන් ඩි’ග්‍රෑන්ඩාහෝම් විසින් යවන ලද ඕස්ට්‍රේලියානු ඉනිමේ 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුව හයේ සීමාවට ඉහළින් යැවූ ඒරන් ෆින්ච් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ගමනේදී පන්දු 14 කට මුහුණදුන් ෆින්ච්, හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කළේය.  

පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 76 ක් රැස්කළ ඩි’ආසි ෂෝට් ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඬේවිඞ් වෝනර් (59) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෂෝට්, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල් (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. 

පන්දු 24 කදී වාර්තා වූ වෝනර්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 14 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය. ක්‍රිස් ලයන් පන්දු 13 කදී ලකුණු 18 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් (105) සමත් විය. පන්දු 54 කට මුහුණදුන් ගප්ටිල් සිය දෙවැනි විස්සයි20 ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් කොලින් මුන්රෝ (76) සමග එක්ව පන්දු 64 කදී ලකුණු 132 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගප්ටිල් සමත් විය. මුන්රෝගේ පස්වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම පන්දු යවන්නන් දැඩි ලෙස පහර කෑමට ලක්වූ අතර තරගය පුරා ඔවුන්ට දවාගත හැකි වූයේ කඩුලු 11 ක් පමණි. එහිදී හයේ පහර 32 ක් සහ හතරේ පහර 33 ක් එල්ල කිරීමට කණ්ඩායම් දෙකේ පිතිකරුවෝ සමත් වූහ. 

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 243 
(මාටින් ගප්ටිල් 105, කොලින් මුන්රෝ 76, මාක් චාප්මන් 16, රොස් ටේලර් නොදැවී 17, කේන් රිචඞ්සන් 40/2, ඇන්ඩෘ ටේ 64/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 18.5 කදී කඩුලු 5 ක් දැවී 245 
(ඬේවිඞ් වෝනර් 59, ඩි’ආසි ෂෝට් 76, ක්‍රිස් ලයන් 18, ග්ලේන් මැක්ස්වෙල් 31, ඒරන් ෆින්ච් නොදැවී 36) 

-036 

 
 

අදහස් (0)

ඕස්ට්‍රේලියාවට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.