Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය අබියස

ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය අබියස

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඩිලේඞ්හිදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේදී ලකුණු 531 ක ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්ත පිල වෙනුවෙන් සටනක් දීමේ බලාපොරාත්තු නංවමින් සිටි කෙවින් පීටර්සන් සහ ජෝ රූට් දෙනොම දැවී යාමත් සමගම  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ නැවතත් තරගයේ පාලනය අතට ගනිමින් එංගලන්ත පිල පරාජයේ අගාධයට තල්ලූ කරමින් සිටියහ.

තරගයේ සිව්වැනි දිනය වන අද (8 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත පිල තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය. පිටියේ ඉතිරිව සිටි පිතිකරුවන් වූයේ කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර් (නොදැවී 31) සහ තුන් ඉරියව් කී‍්‍රඩක ස්ටුවර්ට් බ්‍රෝඞ් (නොදැවී 22)  පමණි.

පීටර්සන්ගේ දැවී යාමෙන් පසුව එංගලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි ජෝ රූට් ලකුණු 87 කට දවාගැනීමට නේතන් ලයන් සමත්වීමත් සමගම  ඕස්ටේ‍්‍රියානුවන්ට ජයග‍්‍රහණයේ සුවඳ දැණින. පරාජයෙන් ගැලවීමට නම් එංගලන්ත පිල තවත් ලකුණු 284 ක් ලබා තරගය ජයගත යුතුය. නැතහොත් හෙට දිනය පුරාම ඉතිරිව ඇති කඩුලූ 4 ආරක්‍ෂා කරගත යුතුය. එහෙත් ටෙස්ට් තරගයක පස්වැනි දිනයේ තණතීරුවක මෙය අසීරු අභියෝගයකි.

ජොනතන් ට්‍රොට් කණ්ඩායම හැරයාම නිසා අංක 3 ස්ථානයට පැමිණි ජෝ රූට් සිය කී‍්‍රඩා රටාවෙන් නරඹන්නන් පිනවූ අතරම එංගලන්ත පිලේ අංක 3 ස්ථානය පිළිබඳ ඇති විවාදයද අවසන් කළේය. පැය හතර හමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින්, හතරේ පහර 9 ක් සහිතව ලකුණු 87 ක් ලබාගත් ජෝ රූට් දවාලමින්  ඕස්ටේ‍්‍රලියානු කඩුලූ රකින්නා වන බ‍්‍රැඞ් හැඩින් රැකගත්තේ සිය 200 වැනි උඩපන්දුවයි.

දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම එංගලන්ත පිලේ 6 වැනි කඩුල්ලත් දැවී ගිය අතර බෙන් ස්ටෝක්ස් සහ මිචෙල් ජොන්සන් අතර පැවැති උණුසුම් වචන හුවමාරුව නතර කිරීමට විනිසුරු කුමාර් ධර්මසේන මහතාටත් මැදහත් වීමට සිදුවිය. ඊළග පන්දුවේදී ස්ටෝක්ස් දැවී ගියේය.

තේ පානය පෙනෙන තෙක් මානයේ සිටියදී පැයට කිලෝ මීටර 129.8 ක වේගයෙන් ඇදී ගිය පීටර් සිඞ්ල්ගේ පන්දුවක් පීටර්සන්ගේ පිත්තේ පිටත දායේ යාන්තමින් ගෑවී පිට ඉන්න සොයාගියේ පීටර්සන් සහ ජෝ රූට් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 111 කට සීමා කරමිනි.
 
එයින් මඳ වේලාවකට පසුව ඉයන් බෙල්ගෙන් ලැබුණු උඩපන්දුවක් මිචෙල් ජොන්සන්ගේ දෑත් අතර සැගවී යාමත් සමගම විනිසුරුවරු තේ පානයට තරගය නැවතූහ.

ලකුණු 398 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත්, දෙවැනි ඉනිම ආරම්භ කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ තුන්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 132 ක් ලබාගත්හ. අනතුරුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 531 ක් කරා යන්නැ’යි අභියෝග කරමින් අද තරගය ආරම්භ වීමටත් පෙර දෙවැනි ඉනිම අත්හිටවූයේ ඬේවිඞ් වෝනර් ලකුණු 83 ක් ලබා නොදැවී සිටියදීය.

තරමක් වැසිබර තත්ත්වයක් තිබියදී පන්දු යැවීම ආරම්භ කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල නෙලා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. ජොන්සන් සිය 3 වැනි පන්දුවේදීම එංගලන්ත නායකයා පිටියෙන් ඉවත් කළ අතර  ඕවර 10 කදී තවත් ලකුණු 20 ක් පමණක් ලබාගන්නා අතරේ දෙවැනි කඩුල්ලද බිම වැටිණ.

පළමු ඉනිමේදී ජොන්සන්ගේ අධිවේගී පන්දුවක් කුක්ගේ කඩුල්ලට කඩාවැදුණු අතර අද පෙරවරුවේදී ජොන්සන් විසින් එවන ලද පන්දුවකට කුක් ගැසූ හුක් පහරකින් ඉහළ ගිය පන්දුව සුරැුකිව රැුකගැනීමට රයාන් හැරිස්ට හැකිවිය.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ට 570 යි
එංගලන්තය - පළමු ඉනිම 172
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 3 ට 132
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 247

(මයිකල් කාබෙරි 14, ජෝ රූට් 87, කෙවින් පීටර්සන් 53, බෙන් ස්ටෝක්ස් 28, මැතිව් ප‍්‍රයර් නොදැවී 31, ස්ටුවර්ට් බ්‍රෝඞ් නොදැවී 22, රයාන් හැරිස් 45/1, මිචෙල් ජොන්සන් 53/1, පීටර් සිඞ්ල් 21/2, නේතන් ලයන් 78/1, ස්ටීවන් ස්මිත් 43/1)

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.