Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කමින්ස්ගෙන් සියුම් බලාපොරොත්තුවක්

කමින්ස්ගෙන් සියුම් බලාපොරොත්තුවක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිසිම අත්වැරදීමක් නොවන පරිද්දෙන් ඕස්ට්‍රේලියානුවන් දමනය කරගැනීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් වූ නමුත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ටත්  අත්පොළසන් දීමට අවස්ථාවක් පැට් කමින්ස් උදාකර දුන්නේය. ඕස්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 151 කට සීමා කළ ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 292 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත් දෙවැනි ඉනිම සඳහා පිති අතට ගත්හ. එහෙත් තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් ලකුණු 54 කට බිඳ වැටී තිබිණ. 

දෙවැනි ඉනිමේදී මයාන්ක් අග්‍රවාල් සහ හනුමා විහාරි එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව කුලප්පු වූ ඇතෙකු මෙන් පන්දු යැවීමට ගත් පැට් කමින්ස් ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගත්තේය. හනුමා විහාරි සහ රෝහිත් ෂර්මාගේ දැවී යාම් දෙක අතර ඉන්දීය පිලට එක්වූයේ ලකුණු 16 ක් පමණි. 

කෙසේ වෙතත් දිනය නිමා වන විට කෝඩුකාර අග්‍රවාල් සහ රිෂාබ් පන්ට් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 54 දක්වා ඉහළ දමා තිබිණ. ඒ වන විට ඉන්දීය කණ්ඩායම තරගයේ සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබියදීම, සත්කාරකයන්ට වඩා ලකුණු 346 ක් ඉදිරියෙන් සිටියේය. 

දිනෙන් දින නරක අතට හැරෙන මෙල්බර්න් තණතීරුව මත ජස්ප්‍රීට් බුම්රා කළ පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු   පිලේ දුර්වල පිතිහරඹය ප්‍රදර්ශනය විය. සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කළ බුම්රා ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගත්තේය. කිසිම ඕස්ට්‍රේලියානු   පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි වීමෙන් පෙනුණේ කණ්ඩායමේ සිටි පළපුරුදුම පිතිකරුවන් දෙදෙනා වන ස්ටීව් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනා නැති අඩුවයි. 

වසරක කාලයක් සඳහා තරග තහනමකට ලක්ව සිටින ස්මිත් සහ වෝනර්ගේ තහනම මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය. 

ඉතාමත් පහසුවෙන් ඕස්ට්‍රේලියානු  පිල දෙවැනි වරටත් පිතිහරඹයට යැවීමේ අවස්ථාව විරාට් කෝලිට තිබුණ නමුත් පීඩනය තවත් වැඩිකරමින් ජයග්‍රහණය ඕස්ට්‍රේලියානුවන්ට  යා හැකි සීමාවෙන් එපිටටම ඇද දැමීමට උත්සුක වූ ඉන්දීය නායකයා දෙවැනි ඉනිම ඇරඹීය. එහෙත් වැඬේ හිතු තරම් ලේසි නොවූයේ පැට් කමින්ස් පන්දුව අතට ගැනීමෙන් පසුවය. 

මුල් ඉනිමේදී ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ චෙටේස්වාර් පුජාරා සහ විරාට් කෝලි දෙදෙනාම ලකුණු නොලබා දැවී ගියහ. සිය පළමු ඕවර 4 දී ලකුණු 03 ක් පමණක් ලබාගැනීමට අවසර දුන් පැට්ට්‍රික් කමින්ස් පන්දු 8 ක් ඇතුළතදී කඩුලු 4 ක් දවාගත්තේය. 

ඉන්දියාව  - පළමු ඉනිම 443 යි
ඕස්ට්‍රේලියානුව    - පළමු ඉනිම 151 යි

(මාකස් හැරිස් 22, උස්මන් කවාජා 21, ෂෝන් මාෂ් 19, ට්‍රැවිස් හෙඞ් 20, ටිම් පේන් 22, පැට් කමින්ස් 17, ජස්ප්‍රීට් බුම්රා 33/6, රවීන්ද්‍ර ජදේජා 45/2)

ඉන්දියාව  - දෙවැනි ඉනිම කඩුලු 5 ට 54 යි
(හනුමා විහාරි 13, මයාන්ක් අග්‍රවාල් නොදැවී 28, පැට් කමින්ස් 10/4)


අදහස් (0)

කමින්ස්ගෙන් සියුම් බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.