Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් නිලවරණය 2019 පෙබරවාරියේදී

ක්‍රිකට් නිලවරණය 2019 පෙබරවාරියේදී

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවතම ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය 2019 වසරේ පෙබරවාරි මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශ අනුව මෙම නිලවරණය පෙබරවාරි මස 9 වැනිදාට පෙර පැවැත්විය යුතුව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රමුඛ පිරිසක් පසුගිය සතියේදි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් හමුවීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සහාවෙන් ඉහත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් සහ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් යන මහත්වරු හමුවීම සඳහා  ශ්‍රී ලංකාවෙන් ගිය නියෝජිත පිරිසට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද ඇතුළත් වූහ.

මීළඟ නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සාමාජිකයන් සිව් දෙනකුගෙන් සමන්විත ‘පරිපාලන කමිටුවක්’ද පත්කිරීමට නියමිතය. මෙම කමිටුව සමග ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියාට සිදුවෙයි.

පසුගිය මැයි මස 31 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් කටයුතු පාලනය කරනු ලබන්නේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කරන ලද ‘නිසි බලධාරියා’ විසිනි. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන කමල් පද්මසිරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිසි බලධාරියා’ වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් නිශාන්ත රණතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. එය සලකා බැලූ අභියාචනාධිකරණය, නිසි පරිදි නිලවරණ කමිටුවක් පත්කර නිලවරණය පවතවන ලෙස නියෝග කළේය. නිලවරණ කමිටුව පත්කරන තුරු ක්‍රීඩා ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත්කරන ලදි. මාස තුනක කාලයක් ගියද තවමත් නිලවරණ කමිටුව පත්කර නැත.

මේ අතරවාරයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් රජයේ අත පෙවීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිය අවධානය යොමුකර සිටියේය. ක්‍රීඩා ඇමතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බලධාරීන් හමුවීමට ගියේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා කාල දිගුවක් ලබාගැනීමේත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පැනවිය හැකි තහනමක් වළක්වා ගැනීමේත් අරමුණ ඇතිවය.

මෙම හමුවීමෙන් පසුව ක්‍රීඩා ඇමතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ බලධාරීන්ට ඒත්තුගන්වා ඇත්තේ නිලවරණයට මාසයකට පමණ කල් තිබියදී නිලවරණ කමිටුවක් නම්කරන බවත්, එමගින් නාමයෝජනා පිරික්සා නිලවරණය පවත්වන බවත්ය. නිලවරණ කමිටුවට පත්කරනු ලබන නිලධාරීන් සම්බන්ධයෙන් අභියෝග ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට සතියක පමණ කාලයක් දෙනු ලබනු ඇත.

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණය 2019 පෙබරවාරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.