Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් මුල් පුටුව ශම්මිට

ක්‍රිකට් මුල් පුටුව ශම්මිට

Nisanka Sandeepani - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27 කින් අද (21) තේරී පත්විය. එහි ලේකම් ධූරයට හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා පත්විය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 සිට 2021 දක්වා වන වසර දෙකක කාලපරිච්ජේදය සඳහා විධායක කමිටුව පත්කරගැනීමේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. මෙම නිලවරණයේදී පත්කරගත් ප්‍රධාන තනතුරු හයෙන් පහකටම ‘සුමතිපාල’ පාර්ශවය නියෝජනය කළ නිලධාරීන් පත්වූ අතර ‘රණතුංග’ පාර්ශවයට උප සභාපති ධූරයක් පමණක් හිමිවිය.

මෙම නිලධාරී මණ්ඩයේ භාණ්ඩාගාරික ධූරයට පත්වූ ලසන්ත වික්‍රමසිංහ මහතා හැර සෙසු සියලුම නිලධාරීහූ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නිලධාරීහූ වෙති.

සභාපති ධූරයට ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු තරග කළ අතර එහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබමින් වැඩි ඡන්ද 27 කින් ජය ලැබීය.

උප සභාපති ධූර දෙක සඳහා රවීන් වික්‍රමරත්න (ඡන්ද 82), කේ. මතිවානන් (ඡන්ද 80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත්වූහ. උප සභාපති ධූරයට තරග කළ අර්ජුණ රණතුංග මහතා ඡන්ද 72 ක් ලබාගත් අතර ඒ මහතා ඡන්ද අටකින් පරාජයට පත්විය. උප සභාපති ධූරයකට පත්වූ කේ. මතිවානන් මහතා ‘රණතුංග’ පාර්ශවයෙන් ජය ලැබූ එකම නිලධාරියා වේ.

සභාපති ධූරයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසුව අවසන් මොහොතේ ලේකම් ධූරයට තරග කිරීමට අවස්ථාව ලැබූ මොහාන් ද සිල්වා මහතා ඡන්ද 96 ක් ලබා වැඩි ඡන්ද 53 කින් ජය ලැබීම කැපී පෙනුණි.  මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රතිවාදියා වූ නිශාන්ත රණතුංග මහතාට ඡන්ද 43 ක් පමණක් හිමිවිය.

භාණ්ඩාගාරික ධුරයට පළමු වරට ඉදිරිපත් වූ ලසන්ත වික්‍රමසිංහ මහතා ඡන්ද 100 ක් ලබා ගැනීම කැපී පෙනුණි. ඒ මහතාගේ ප්‍රතිවාදියා වූ ඊස්මන් නාරංගොඩ මහතා ඡන්ද 37 ක් පමණක් ලබාගැනීමෙන් ලසන්ත මහතා වැඩි ඡන්ද 63 කින් ජය ලැබීය. 

උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා වැඩි ඡන්ද 50 කින් ද, උප භාණ්ඩාගාරික ධූරයට ලලිත් රමුක්වැල්ල මහතා වැඩි ඡන්ද 50 කින් ද, පත්වූහ. එහිදී පිළිවෙළින් හිරන්ත පෙරේරා සහ සංජය සේදර සෙනරත් යන මහත්වරු පරාජයට පත්වූහ.

මෙම නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට තිලංග සුමතිපාල, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිපදෙනකු පැමිණ සිටියහ. විශ්‍රාමලත් විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව විසින් නිලවරණය මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය (2019) ප්‍රතිඵල :

■    සභාපති (01) - ශම්මි සිල්වා (ඡන්ද 83) සහ ජයන්ත ධර්මදාස (ඡන්ද 56)
■    උප සභාපති (02) - රවීන් වික්‍රමරත්න (ඡන්ද 82), කේ. මතිවානන් (ඡන්ද 80) සහ අර්ජුන රණතුංග (ඡන්ද 72)
■    ලේකම් (01) - මොහාන් ද සිල්වා (ඡන්ද 96) සහ නිශාන්ත රණතුංග (ඡන්ද 43)
■    භාණ්ඩාගාරික (01) - ලසන්ත වික්‍රමසිංහ (ඡන්ද 100) සහ ඊස්මන් නාරංගොඩ (ඡන්ද 37)
■    උප ලේකම් (01) - ක්‍රිෂාන්ත කපුවත්ත (ඡන්ද 94) සහ සහ හිරන්ත පෙරේරා (ඡන්ද 44)
■    උප භාණ්ඩාගාරික (01) - ලලිත් රඹුක්වැල්ල (ඡන්ද 92) සහ සංජය සේදර සෙනරත් (ඡන්ද 42)

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

ක්‍රිකට් මුල් පුටුව ශම්මිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.