Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රීඩකයන්ගේ පරෙස්සම අභියෝගයක් වෙයි

ක්‍රීඩකයන්ගේ පරෙස්සම අභියෝගයක් වෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලි බහුල නොවේ. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා වසර 36 ක් ගෙවී ගියද ටෙස්ට් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය දූපත් වෙත ගමන්කර ඇත්තේ සිවු වතාවක් පමණි. එකම තරගාවලියක ටෙස්ට් තරග දෙකකට වැඩියෙන් පැවැත්වෙන පළමු අවස්ථාද මෙයයි. 

දෙරට අතර මේ දක්වා පැවැත්වී ඇත්තේ ටෙස්ට් තරග 17 ක් පමණි. එහි 18 වැන්න හෙට (6 වැනිදා) ටි්‍රනිඩෑඞ්හි ‘ක්වීන්ස් පාක් ඕවල්’ පිටියේදී ඇරඹෙයි. හැටේ දශකයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම කොදෙව් පිලේද හිටපු විශිෂ්ටතම නායකයන් දෙදෙනකු වන මයිකල් තිසේරා සහ ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් දෙදෙනාගේ නමින් පිරිනැමෙන ‘සෝබර්ස් - තිසේරා’ කුසලාන සඳහා තරගාවලිය පැවැත්වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගාවලි තුනේදීම, ටෙස්ට් තරග 7 ක් පැවැති නමුත් ශ්‍රී ලංකාව පරාජය වී ඇත්තේ ඒවායින් එකක් පමණි. තරගාවලි දෙකක් ජයගත් අතර ලෝකයේ අංක 1 හිමි ඉන්දියාව හමුවේ තරගයක් පරාජය විය. එසේ වුවත් වඩාත්ම වැදගත් සාධකය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මාස හතරකින් පමණ ටෙස්ට් තරගයකට සහභාගි නොවීමයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් කිහිප දෙනකුම තුවාල ලබා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම්වීම් තරමක් අඩාල විය. ඊට තවත් හේතුවක් වී ඇත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා පරෙස්සම් කරගැනීමට සිදුව තිබීමයි. 

ටෙස්ට් පිලේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් වන ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්නත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් දෙදෙනාත් ආබාධ වලට ලක්ව සිටීම හේතුවෙන් මෙවර සංචාරයට එක්ව නැත. සිය පියාගේ හදිසි අභාවය නිසා අවසන් මොහොතේදී කොදෙව් සංචාරයෙන් ඉවත් වූ නමුත් මේ වන විට කණ්ඩායමට එක්ව සිටින ධනංජය සිල්වාට දින කිහිපයක්ම නිසි පුහුණුවීම් කිරීමටද නොහැකි විය. එබැවින් පළමු ටෙස්ට් තරගය සඳහා ධනංජයගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබේ. 

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් තිදෙනා වන රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් තිදෙනාගෙන් තුන්දින පුහුණු තරගයට සහභාගි වූයේ මැතිව්ස් පමණි. එම තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොතිබිණ. 

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක වීමට නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය තත්ත්වයේ තිබේ. එසේ වුවත් දීර්ඝ කාලීන වශයෙන් මෙම ක්‍රීඩකයන් පරෙස්සම් කරගැනීම අරමුණු කරගනිමින් ඔවුන්ගෙන් කිසියම් අයකු සෑම තරගයකදීම විවේක ගැන්වීම පිළිබඳවද ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරීන් මේ වන විටත් ඉඟි කර තිබේ. 

කොදෙව් පිලේ අවසන් සංචාරය වූ නවසීලන්ත සංචාරයේදී අසාර්ථක වූ නමුත් එහි ගිය ක්‍රීඩකයන්ගෙන් වැඩිදෙනකු කණ්ඩායමේ රඳවා ගැනීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ පාකිස්තානය සහ එංගලන්තය හමුවේ පසුගිය වසරේදී දැක්වූ දස්කම් අතරට කොදෙව් පිල නැවතත් ගෙන ඒමයි. 

මේ වන විට 36 හැවිරිදි ඩෙවොන් ස්මිත් වසර 3 කට පසුව කොදෙව් පිලට කැඳවා තිබේ. වඩාත් කුතුහලය දනවන පැනය වන්නේ කිරන් පවෙල් ඉවතට තල්ලුකරමින් කණ්ඩායම තුළ ස්ථානය හිමිකරගැනීමට ආරම්භක පිතිකරු ස්මිත්ට හැකිවේද යන්නයි. 

තරගය පැවැත්වෙන ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ තණතීරුවට ඇත්තේ තරමක් අපකීර්තිමත් ඉතිහාසයකි. එයින් වේග පන්දු යවන්නන්ට හෝ පිතිකරුවන්ට සහයෝගයක් නොලැබෙන බව කියැවේ. මෙම තණතීරුවේදී හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්නට නම් පිතිකරුවන්ට දැඩි ඉවසීමක් තිබීම අනිවාර්ය යැයිද කියැවේ. 

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව නිරන්තරයෙන්ම අසීරු අඩියක වැටී සිටින්නේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලෝකයේ විවිධ විස්සයි-20 ලීගයන්හි ක්‍රීඩා කරන බැවිනි. අන්තර්ජාතික තරග වලදී කොතෙක් අසීරුතාවට පත්වන නමුත් තමන්ගේ ජාතික කණ්ඩායම පිළිබඳ හැඟීමක් නැති මෙම ක්‍රීඩකයන් නොසලකා හැරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීහු පසුබට නොවෙති. 

දෙරට අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 17 න් තරග 8 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර කොදෙව් පිල ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. ශ්‍රී ලංකා පිල අවසන් වරට බටහිර ඉන්දීය දූපත් සමූහයේ කළ සංචාරයේදී තරගයක් ජයගත් නමුත් දෙවැනි තරගය පරාජය වීම හේතුවෙන් තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය.

ශ්‍රී ලංකා සංචිතය 
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය 
ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂෝ, ඩෙවොන් ස්මිත්, ක්‍රේග් බ්‍රැත්වේට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගෙල් කමින්ස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබි්‍රයෙල්, ජමාර් හැමිල්ටන්, ශිම්රන් හෙට්මියර්, ශේයි හෝප් සහ කේමර් රෝච්  

 


අදහස් (0)

ක්‍රීඩකයන්ගේ පරෙස්සම අභියෝගයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.