Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් ඇතුළට : දික්වැල්ල එළියට

කුසල් ඇතුළට : දික්වැල්ල එළියට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියද අහිමි විය.

තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් විය. ඒ වන විට එම තරගාවලියේදී සහභාගි වූ තරග 3 කදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කිරීමට ඔහු සමත්ව සිටියේය.

කෙසේ වුවත් පසුගිය තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට නිදහස් කුසලාන තරගාවලියේදී සිය ස්ථානය අහිමිවී තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ලකුණු 11 කට දැවී ගිය දික්වැල්ලට දෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි විය. එම තරගයත් සමග අවසන් වරට සහභාගී වූ විස්සයි20 තරග 5 දී ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 67 ක් (17, 13, 25, 1, 11) පමණි. එහි සාමාන්‍ය සටහන් වන්නේ 13.4 ක් ලෙසිනි.

පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියටද සහභාගි නොවන බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-0 ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූ දිනේෂ් චන්දිමාල් නිදහස් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

බංග්ලාදේශ තරගාවලියේදී විවේක ගන්වා තිබූ සුරංග ලක්මාල්, මෙම තරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර උප නායකත්වයටද පත්කර තිබේ. විවිධ අබාධයන් හේතුවෙන් බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගි නොවූ නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර යළිත් කණ්ඩායමට එක්ව සිටින අතර එක්දින කණ්ඩායම නියොජනය කරමින් දස්කම් දැක්වූ ධනංජය ද සිල්වාද විස්සයි20 සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  

බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත්ව සිටියද, එකම තරගයකට හෝ ක්‍රීඩා නොකළ ජෙෆ්රි වැන්ඩසේට සහ අසිත ප්‍රනාන්දුට නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇත. ඔවුන්ට අමතරව ආබාධවලට ලක්වීම හේතුවෙන් අසේල ගුණරත්නට සහ ෂෙහාන් මධුෂංකටද මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් පෙරේදා (27 වැනිදා) නම් කෙරිණ. එම සංචිතයට ඇතුළත්ව සිටියද, ඊයේ (28 වැනිදා) නම් කෙරුණ අවසන් 15 දෙනාගේ සංචිතයේ ස්ථානයක් වෙන් කරගැනීමට නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ අසමත් වූහ.

මාර්තු මස 6 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයෙන් නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වන අතර එහි සෑම තරගයක්ම පස්වරු 7.00 සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපොන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා

 


අදහස් (0)

කුසල් ඇතුළට : දික්වැල්ල එළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.