Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි

කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක ඇදහිය නොහැකි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා (16 වැනිදා) සමත් විය. ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය. 

මෙම ජයත් සමගින් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය නොවීමේ ස්ථානය ද අත්පත් කරගත්තේය. 

ලකුණු 304 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 226 දී බිඳ වැටුණ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 06) ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

තේ පානය සඳහා තරගය නතර කිරීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා පිලේ කඩුලු 9 ක් දැවී ගොස් තිබූ හෙයින් අවසන් කඩුල්ල දවාගැනීමට දකුණු අප්‍රිකානුවන්ට අතිරේක විනාඩි 30 ක කාලයක් ලැබිණ. මේ අතරවාරයේදී සිය ඉලක්කයට ආසන්න වීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. 

විනාඩි 30 අවසන් වීමට පෙර යැවූ අවසන් ඕවරයේදී දැනට ලොව සිටින හොඳම වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටේන්ට ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවා වන විශ්ව ප්‍රනාන්දු මුණගැසිණ. දෙපිලේම ක්‍රීඩකයෝ ඇඟිළි තුඩින් සිටගෙන සිටි නමුත් තුන්වැනි පන්දුවේදී ලකුණක් ලබාගත් විශ්ව පන්දු යවන්නාගේ අන්තයට ගියේය. 

සියලු දෙනාගේ අපේක්‍ෂාව වන්නට ඇත්තේ ඉතිරි පන්දු තුනේදී කුසල් පෙරේරා සිය කඩුල්ල රැකගනීවි යන සිතිවිල්ල විය හැකිය. එහෙත් ඬේල් ස්ටේන්ගේ පන්දුවක් ඩීප් මිඞ් විකට් කලාපයට ඉහළින් නරඹන්නන් සිටින පෙදෙසට යැවූ කුසල් පෙරේරා ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 6 ක් දක්වා අඩුකරගත්තේය. 

ජයග්‍රහණයට ලකුණු 6 ක් මෑතින් සිටියදී තේ පානයට තරගය නතර කිරීම අවශ්‍ය නොවූයෙන් පන්දුව කගීසෝ රබාඩාට ලැබිණ. පළමු පන්දුවට පාද ලකුණු 2 ක් ලැබුණු අතර ඊළඟ පන්දුව තර්ඞ් මෑන් කලාපයෙන් හතරේ සීමාවට ගියේය. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී එංගලන්තය හමුවේ පැවැති තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කට සහභාගි වී ඇතත් ජයගත්තේ මෙම තරගය පමණි. 

ලකුණු 304 ක් යනු අසීරු ඉලක්කයක් නොවූවත් ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටීමට මූලිකම හේතුව වූයේ එක ළඟ කඩුලු දැවී යාමයි. මුලු ලකුණු සංඛ්‍යාව 42 ක් ව තිබියදී ළහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්න දෙදෙනාත්, ලකුණු සංඛ්‍යාව 110 ක් ව තිබියදී ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාත් දැවී ගියහ. 

අනතුරව එක්වූ කුෂල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු අලුත් කළ නමුත් ලකුණු 206 දී ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් දෙදෙනාම දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සීසීකඩව ගියේය. 

දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගැනීමට නම් දිවා ආහාරයෙන් පසුව තවත් ලකුණු 138 ක් ලබාගත යුතුවූ නමුත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ තමන්ගේ ඉවසීම රඳවාගනිමින් කඩුල්ල එල්ලයේම පන්දු යැවූහ. 

නොපිට දෝලනය අපේක්‍ෂාවෙන් වේග පන්දු යවන්නන් වැඩිපුර යොදාගත් නමුත් කේෂව් මහාරාජ් පන්දුව බාරගැනීමෙන් පසුව ඩීප් ස්ක්වෙයාර් සහ මිඞ් විකට් කලාප විවර කරමින් පන්දුව පැමිණෙන රේඛාව හරහා පහර ගැසීමට පිතිකරුවා පෙළඹවූයේය. එම අවස්ථාවේදී ස්ලොග් ස්වීප් පහරක් ගැසීමට උත්සුක වූ ධනංජයගේ පා ආවරණයේ පන්දුව වැදුණ නමුත් විනිසුරු අලීම් දාර් මහතාගේ තීරණය වූයේ ධනංජය කඩුල්ල මුවා නොකළ බවයි. 

කෙසේ වෙතත් ඉතිරිව තිබූ එකම විතීවි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අදහස් කළ දකුණු අප්‍රිකානු නායකයා සිය විකල්පය යොදාගනිමින් ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 48 කට සීමා කළේය. 

ඊළඟ පන්දුවේදී සුරංග ලක්මාල් දැවී ගිය නමුත් වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක් ජයගත් අවස්ථාවක, සිව්වැනි ඉනිමේදී, 10 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව ලෝක වාර්තා පොතට එක්කරමින් ශ්‍රී ලංකා පිල තරගය ජයගත්තේය. 

 

 


අදහස් (0)

කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.