Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල්ගේ වෑයම අපතේ යයි

කුසල්ගේ වෑයම අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දෝර්හි හෝල්කර් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 88 ක පහසු ජයග්‍රහණයක් ලැබූ ඉන්දීයාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය.

ලකුණු 261 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 17.2 ක් අවසානයේ ලකුණු 172 කට සීමා කිරීමට යුස්වින්දර් චාහල් සහ කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඕවර 14 ක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 155 ක් ලබා සිටි ශ්‍රී ලංකාවට, ලකුණු 17 ක් ඇතුළත තවත් කඩුලු 7 ක් දැවී යෑම නිසා ලකුණු 200 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාවද අහිමි විය.

ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකිරීමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත ගොස් අසුන් ගත්හ. පන්දු යවමින් සිටියදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස්, පන්දුවට පහරදීම සඳහාද නොපැමිණීමද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් කිරීමට ජයදේව් උනාඞ්කට් සමත් විය. දික්වැල්ලගේ දැවීයෑමෙන් අනතුරුව උපුල් තරංග (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් පෙරේරා (77), ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ආවේය.

අර්ධ ශතකයට ලකුණු 3 ක් මෙපිටින් සිටි උපුල් තරංග, ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට යෑමෙදී යුස්වින්දර් චාහල්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටිණ. එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විට කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ මනීෂ් පාණ්ඬේ අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරාද දැවී ගියේ ජයග්‍රහණය පිළිබඳ තබා සිටි බලාපොරොත්තු සුනුවිසුණු කර දමමිනි.

පන්දු 37 කදී වාර්තා වූ කුසල්ගේ 6 වැනි විස්සයි20 අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ තරංගගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ඉනිම උඩු යටිකුරු කළ යුස්වින්දර් චාහල් සහ කුල්දීප් යාදව් පිළිවෙලින් ලකුණු 52 කට කඩුලු 4 ක් සහ 3 ක් බැගින් දවාගත්හ. සිය මුල් ඕවරවලදී තරංගගේ සහ කුසල්ගේ දැඩි ප්‍රහාරයට ලක් වුවද, අවසන් ඕවරවලදී ඔවුන් දෙදෙනාද ඇතුළත්ව පිතිකරුවන් 7 දෙනෙක් පිටියෙන් ඉවත් කිරීමට චාහල් සහ යාදව් සමත් වූහ.

රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් රැස්කළේය. එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් වූ අතර 2007 වසරේදී ශ්‍රී ලංකාවද කෙන්යාවට එරෙහිව ලකුණු 260 ක් රැස්කර තිබිණ. 2016 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263 ක් රැස්කළ ඕස්ටේ්‍රලියාව එදා මෙදා තුර ඉහළම විස්සයි20 ඉනිමට හිමිකම් කියයි.

ඉන්දීය කණ්ඩායමක් විස්සයි20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද මෙම ලකුණු සංඛ්‍යාව පත්වූ අතර 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 244 මින් පෙර ඔවුන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය. ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ශර්මා (118) සහ ලෝකේෂ් රාහුල් (89) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමෙ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා අවශ්‍ය අඩිතාලම දැමූහ.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා (118) පන්දු 35 කදී සිය දෙවැනි විස්සයි20 ශතකය සම්පූර්ණ කළේ වේගවත්ම විස්සයි20 ශතකයේ වාර්තාවද සමකරමිනි. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 43 කට මුහුණදී සිටි ශර්මාගේ ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්ව තිබිණ. මින් පෙර පන්දු 35 කදී ශතකයක් වාර්තා කර තිබුණේ ඬේවිඞ් මිලර් විසිනි. ඔහු 2017 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එම වාර්තාව පිහිටුවා තිබිණ.

ශර්මාගේ දැවී යෑමෙන් අනතුරුව මහේන්ද්‍ර සිං දෝනි (28) සමග එක්ව පන්දු 35 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලෝකේෂ් රාහුල් සමත් විය. නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 49 කට මුහුණදුන් රාහුල් හයේ පහර 8 කින් සහ හතරේ පහර 5 කින් සිය තෙවැනි විස්සයි20 අර්ධ ශතකය අලංකාර කළේය. පන්දු 21 කදී වාර්තා වූ දෝනිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ මෙම තරගයේදී දැඩි ලෙස පහර කෑමකට ලක්වූ අතර නායක තිසර පෙරරො සහ නුවන් ප්‍රදීප් එහිදී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය. පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවෙට ඉදිරි පෙළ පිතිකරු සධීර සමරවික්‍රම සහ තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා සිටියහ.

 


- 036

 


අදහස් (0)

කුසල්ගේ වෑයම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.