Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වන් ග්‍රහණය දැඩි කරද්දී මෙන්ඩිස් සටනේ

කොදෙව්වන් ග්‍රහණය දැඩි කරද්දී මෙන්ඩිස් සටනේ

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ඉනිමේදී කළ අණුවනකම් අතහැර දැමූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පරාජයේ දැවැන්ත සෙවණැල්ල යට සිටිමින් එයින් මිදීමේ මං සොයන්නට වූහ. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (9 වැනිදා) නිමා වන විට තරමක් දුරට සිහි එළවාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියහ. 
 
සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න ට්‍රිනිඩෑඞ්හි ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී පැවැත්වෙයි. තරගයේ අවසන් දිනය අදයි. 
 
කොදෙව් පළමු ඉනිමේදී උඩපන්දු අතහැරීමත්, ශ්‍රී ලංකා ඉනිමේදී කළ වගකීමෙන් තොර පිතිහරඹයත් නිසා තරගයේ තුන්වැනි දිනයේදීම කොදෙව්වන්ට ලකුණු 229 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ. පිට පිටම දෙවැනි වරටත් ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට යැවීමේ අවස්ථාව කොදෙව් පිලට තිබුණත් නැවත වරක් පිති අතට ගත් කොදෙව්වෝ සිය දෙවනි ඉනිමේදී කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබාගත්තේ හැකිනම් සිව්වැනි ඉනිමේදී ලකුණු 453 ක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කරමිනි. 
 
අභියෝගයට මුහුණ දෙමින් කුසල් මෙන්ඩිස් (නොදැවී 94) අගනා පිතිහරඹයක යෙදුණද තරගයෙන් ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 277 ක් ලබාගත යුතුය. 
 
කුසල් පෙරේරා (12) නැවතත් අසාර්ථක වූ නමුත් අංක 3 පිතිකරුවා වූ දිනේෂ් චන්දිමාල් සහ මෙන්ඩිස් දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දමන්නට වූහ. මුළු ලකුණු සංඛ්‍යාව 49 ක්ව තිබියදී හිසරදය යයි කියමින් චන්දිමාල් ආපසු ක්‍රීඩාගාරයට ගියත් තේ පානය වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ දැමීමට මෙන්ඩිස් සහ මැතිව්ස් සමත් වූහ. කෙසේ වෙතත් චන්දිමාල් තවමත් නොදැවුණු පිතිකරුවකු වන බැවින් ඔහුට නැවතත් සිය ඉනිම ආරම්භ කළ හැකි බැවින් ශ්‍රී ලංකා පිලට කිසියම් බලාපොරොත්තුවක සේයාවක් ඉතිරි වී තිබේ.
 
තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා පිලට ඇත්තේ මාර්ග දෙකකි. එකක් දිනයට නියමිත ඕවර 90 තුළදී ඉතිරි ලකුණු 277 ලබාගනිමින් තරගය ජයගැනීමයි. අනෙක දිනය පුරා ඉතිරි කඩුලු 7 රැකගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමයි. එහෙත් ටෙස්ට් තරගයක අවසන් දිනයේදී ලකුණු 277 ක් ලබාගැනීම පහසු කාර්යයක් නොවේ. 
 
වසර 141 ක ටෙස්ට් ඉතිහාසයේදී කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ඉලක්කයක් හඹා යමින් තරගයක් ජයගත් විශාලතම ලකුණු සංඛ්‍යාව වන්නේ 418 කි. එය 2003 දී ඇන්ටිගුවාහිදී පැවැති තරගයකදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව මෙම ලකුණු 418 ලබාගත්තේ සත්කාරක කොදෙව්වන් විසිනි. 
 
ශ්‍රී ලංකා - කොදෙව් තරගය පැවැත්වෙන පෝර්ට් ඔෆ් ස්පේන් හි තණතීරුව ඉතාමත් අවිනිශ්චිත ආකාරයේ ඉපිළීමක් පෙන්වයි. මේ වන විට කොදෙව් පිලේ සිටින වේග පන්දු යවන්නන් වන ෂැනන් ගේබ්‍රියෙල්, කෙමර් රෝච්, මිගෙල් කමින්ස් සහ ජේසන් හෝල්ඩර් යන සිවුදෙනාට එරෙහිව, ටෙස්ට් තරගයක අවසන් දිනයේ ලකුණු 277 ක් ලබාගැනීම පහසු නොවේ.
 
කෙසේ වෙතත් සිව්වැනි දිනයේ පැය 4 ක් පුරා කුසල් මෙන්ඩිස් විසින් පෙන්වන ලද අධිෂ්ඨානයට සෙසු පිතිකරුවන්ගෙන් කිසියම් දායකත්වයක් ලැබේනම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඉඩක් නැතුවාම නොවේ. 
 
කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹයද පහසුවෙන් කළ එකක් නොවේ. මෙන්ඩිස් ලකුණු 6 ක් ලබා සිටියදී කොදෙව් නායක හෝල්ඩර් රූපවාහිනී විනිසුරුවරයාගේ පිහිට පැතුවේ නම් ෂැනන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නාට උඩපන්දුවක් දීම වෙනුවෙන් ඔහුගේ ඉනිම අවසන් කරගත හැකිව තිබිණ. එහෙත් විනිසුරුවරයාට වූ වැරදීමක් හේතුවෙන් මෙන්ඩිස්ගේ ඉනිම ඉතිරිවිය. පන්දු 186 කට මුහුණ දුන් මෙන්ඩිස් හයේ පහර දෙකකින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම අලංකාර කළා පමණක් නොවන දිනය අවසානය වන තෙක් කඩුල්ල රැකගැනීම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් බලාපොරොත්තු ඉතිරි කිරීමේ වඩාත්ම තීරණාත්මක සාධකය විය. 
 
පළමු වැනි කඩුල්ල ලකුණු 21 දී බිඳ වැටුණු පසුව චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟා ගෙන ගිය මෙන්ඩිස් ලකුණු 42 ක් ලබා සිටියදී පා දඟ පන්දු යවන ක්‍රීඩක දේවේන්ද්‍ර බිෂූගේ පන්දුවක් හමුවේ දුන් උඩපන්දුවක් ෂේන් ඩව්රිච් වෙතින්ද ගිළිහී ගියේය. 
 
මෙම තරගයේදී කොදෙව්වන් කළ සාර්ථක පිතිහරඹය වසර 33 කට පසුව විශේෂයෙන් කැපී පෙනෙන්නකි. මීට පෙර ඔවුන් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම පිතිහරඹය නතර කරමින් ප්‍රතිවාදීන් පිටියට කැඳවූයේ 1985 දී නවසීලන්ත පිලට එරෙහිව ජෝර්ජ්ටවුන්හිදී පැවැති තරගයදීය. 
 
 
 

අදහස් (0)

කොදෙව්වන් ග්‍රහණය දැඩි කරද්දී මෙන්ඩිස් සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.