Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

කොදෙව්වෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ට්‍රිනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 40 ක ජයක් අත්කරගත් කොදෙව් ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් තෙවැනි තරගය ඕවර 45 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 183 ක ඉලක්කයක් බාර කෙරිණ. එහෙත් කොදෙව් නායිකා ස්ටැෆ්නි ටේලර් සහ ශකීරා සෙලමන් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ඕවර 40.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ඩිලානි මනෝදරා පන්දු 89 කදී හතරේ පහර 2 ක් වේගවත් ලකුණු 42 ක් රැස්කළ අතර හේලි මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් 6 දෙනෙක්ම ලකුණු 10 කට අඩුවෙන් දැවී යද්දී රෙබේකා වැන්ඩොට් පන්දු 42 කදී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ස්ටැෆ්නි ටේලර් සහ ශකීරා සෙලමන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් ජයග්‍රහණය සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මාවත අවහිර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම ඕවර 45 ක් අවසානයේ කඩුලු 8 ක් දෙනා දැවී ලකුණු 182 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට නායිකා ස්ටැෆ්නි ටේලර් සමත් වූවාය. පන්දු 83 කදී වාර්තා වූ ස්ටැෆ්නිගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකාරිණී හේලි මැතිව්ස් පන්දු 75 හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක්ද, මෙරිසා අගුයිලෙයිරා පන්දු 43 හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඇයට අනගි සහායක් දුන් වත්මන් නායිකා ඉනෝකා රණවීර ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූවාය.


බ.ඉ. කොදෙව් කාන්තා පිල - ඕවර 45 කදී කඩුලු 8 ක් දැවී 182
(හේලි මැතිව්ස් 41, ස්ටැෆ්නි ටේලර් 55, මෙරිසා අගුයිලෙයිරා නොදැවී 37, ශෂිකලා සිරිවර්ධන 26/3, ඉනෝකා රණවීර 24/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 142
(යෂෝධා මෙන්ඩිස් 18, ඩිලානි මනෝදරා 42, රෙබේකා වැන්ඩොට් 36, ස්ටැෆ්නි ටේලර් 29/3, ශකීරා සෙලමන් 32/3)

 

- 036

 

ස්ටේසි ඈන්කිං විසින් බ.ඉ.කොදෙව් නායිකා ස්ටැෆ්නි ටේලර්ට කුසලානය පිරිනැමූ අයුරු

 


අදහස් (0)

කොදෙව්වෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.