Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී අද (18 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට හැකිවිය.

මුළු ලකුණු සංඛ්‍යාව එකක් වන විට පළමු කඩුල්ල ලෙස ක්‍රිස් ලයන් ලකුණු නොළඹා පිටියෙන් ඉවත්වීමෙන් පසුව සුනිල් නරේන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 49 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට රොබින් උතප්පා සමත්විය.

සුනිල් නරේන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළ අතර රොබින් උතප්පා පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැම්මේය.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 38 කදී ලකුණු 61 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ නිතිෂ් රානා සහ ඩිනේෂ් කාර්තික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 23 කට මුහුණදුන් ඩිනේෂ් කාර්තික් හයේ පහර 2 න් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කළ අතර නිතිෂ් රානා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත්විය.

සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගැනීමට ක්‍රිෂ්නප්පා ගෞතම් සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් අජින්ක්‍යා රහනේ පළමු කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කර සිටියේය.

අනෙක් ආරම්භක පිතිකරුවාවූ මැතිව් ශෝට් වේගවත් පිතිහරඹයක නිරත නොවූවද හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 43 කදී ලකුණු 44 ක් රැස්කරමින් රාජස්ථාන් රෝයල්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

පළමු කඩුල්ල සදහා අජින්ක්‍යා රහනේ සහ මැතිව් ශෝට් පන්දු 41 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගූවද අනෙක් පිතිකරුවන් සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට අපොහොසත් වූහ.

ඕවර 2 ක බැගින් යවන ලද නිතිෂ් රානා ලකුණු 11 කට කඩුලු 2 ක් ද ටොම් කරන් ලකුණු 19 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පළමුව පන්දුවට පහරදීම සදහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අද තරගයට සහභාගී වූහ.

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160
(අජින්ක්‍යා රහනේ 36, මැතිව් ශෝට් 44, ජොස් බට්ලර් නොදැවී 24, නිතිෂ් රානා 11/2, ටොම් කරන් 19/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 163
(සුනිල් නරේන් 35, රොබින් උතප්පා 48, නිතිෂ් රානා නොදැවී 35, ඩිනේෂ් කාර්තික් නොදැවී 42, ක්‍රිෂ්නප්පා ගෞතම් 23/2


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.