Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 333 කට දැවී යති

කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 333 කට දැවී යති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ අද (1 වැනිදා) කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 333 කට සීමා කිරීමට ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.
 
මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණක් ලබා, කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 144 ක් ඉදිරියෙන් සිටියේය. හෙට (2 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 229 ක් එක්කරගත්හ. අද දිනය පුරා පන්දුවට පහරදෙමින් කොළඹ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ළහිරු තිරිමාන්න හතරේ පහර 8 ක් සමග නොදැවී 125 ක් රැස්කළේය.

ධනංජයද සිල්වා (66) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 92 ක්ද, කවිෂ්ක අංජුල (46) සමග එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 79 ක්ද එක්කළ තිරිමාන්න, ඉන් නොනැවතී 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය (24) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 117 ක් වන විට දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් ඩිල්ෂාන් සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට පන්දු 59 කදී වාර්තා වූ ධනංජයගේ වේගවත් අර්ධ ශතකය හතරේ පහර 13 කින් සමන්විත වී තිබිණ.

ධනංජයගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට අකිල ධනංජය ඉඩක් ලබා නොදුන්නේය. කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 18 ක් පමණි.

ඉන් නොනැවතුණ අකිල ධනංජය, චාමර සිල්වා ලකුණු 10 කටද, ඩිල්රුවන් පෙරේරා ලකුණු ලබාගැනීමට පෙරාතුවද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් වරෙක ලකුණු 149 කට කඩුලු 3 ක් ලෙස දැක්වුණ කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 171 කට කඩුලු 6 ක් බවට පත්කළේය.

ළහිරු තිරිමාන්න සහ කවීෂ අංජුල අතර කොළඹ කණ්ඩායමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 79 කට සීමා කිරීමට ගාල්ල කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස කටයුතු කරන දසුන් ශානක සමත් වූයේ සදීර සමරවික්‍රමගේ සහායද ඇතිවය.

කොළඹ කණ්ඩායමේ අවසන් කඩුලු 2 ටම හිමිකම් කීමට වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක චතුරංග ද සිල්වා සමත් විය. කොළඹ ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 81 ක සම්බන්ධතාව බිඳදමින් ලසිත් ඇඹුල්දෙණිය කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් චතුරංග, විෂ්ව ප්‍රනාන්දු ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළේය. කොළඹ කණ්ඩායමේ අවසන් පිතිකරුවා වූ දුෂ්මන්ත චමීර ආබාධ තත්ත්වයක් හේතුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියේය.


ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 476
(මාධව වර්ණපුර 18, රොෂේන් සිල්වා නොදැවී 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මාලින්ද පුෂ්පකුමාර 19, දිල්රුවන් පෙරේරා 106/3, කවිෂ්ක අංජුල 52/2, ලසිත් ඇඹුල්දෙණිය 147/2)

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 333
(ධනංජය ද සිල්වා 66, ළහිරු තිරිමාන්න නොදැවී 125, දිනේෂ් චන්දිමාල් 18, කවිෂ්ක අංජුල 46, ලසිත් ඇඹුල්දෙණිය 24, අකිල ධනංජය 61/3, චතුරංග ද සිල්වා 22/2, මොහොමඞ් ඩිල්ෂාන් 49/2)

ගාල්ල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 1

 


අදහස් (0)

කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 333 කට දැවී යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.