Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලි - රහනේ ඉන්දීය පිල ගොඩගනිති

කෝලි - රහනේ ඉන්දීය පිල ගොඩගනිති

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකුම ලකුණු 82 ක් තුළදී දැවී ගිය නමුත් නායකත්වයේ බර කරට ගත් විරාට් කෝලි, සිය අංක 5 පිතිකරුවා වූ අජින්ක්‍යා රහනේ සමග එක්ව ඉන්දිය පිල ගොඩගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 159 ක සම්බන්ධතාව නිසා හිස් ඔසවාගත් ඉන්දීය කණ්ඩායම නොටිංහැම්හිදී අද (18 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියේය. 

බෙන් ස්ටෝක්ස්ගේ ආගමනයත් සමගම කණ්ඩායමේ ස්ථානය අහිමි වේද යන දෙගිඩියාවෙන් සිටි ක්‍රිස් වෝක්ස් දිවා ආහාරයට පෙර කඩුලු 3 ක්ම දවාගනිමින් ඉන්දීය පිල පසුපාදයට ඇද දැමූහ. එහෙත් පන්දු යවන්නන් හමුවේ අභීතව සිටගත් විරාට් කෝලි සිය පුහුණුකරුවාගේ උපදෙස් අකුරටම පිළිපදිමින් කඩාවැටීමට ගිය ඉන්දීය ඉනිමට කදිම මුක්කුවක් ගැසුවේය. 

“ඔබ ගැනම විශ්වාස කරන්න.....මීට පෙර අවස්ථා දෙක තුනකදීම ඔබ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීලා ඒ හැම අවස්ථාවකදීම සාර්ථකව ප්‍රතිචාර දක්වලා තියෙනවා. මේ වතාවෙත් ඒකම කරන්න” 

“ලෝඩ්ස් පිටියේදී පරජය ගැන ඒ තරම් හිතන්න යන්න එපා. එතැන තිබුණ තත්ත්වය වේග පන්දු යවන්නන්ට හරිම වාසිදායකයි. ඒ වගේ දෙයක් ඕනෑම කණ්ඩායමකට වෙන්න පුළුවන්.......ඒත් මෙතැන ඉන්නේ ආපසු හැරෙන කණ්ඩායමක් නෙමේ. ඒක සහතිකයි....අපට ඕනේ දිනන්න..එච්චරයි” යයි තුන්වැනි ටෙස්ට් තරගයට පෙර විරාට් කෝලි අමතමින් ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා කීවේය. 

දිවා ආහාරය වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කෝලි සහ අජින්ක්‍යා රහනේ කළ පිතිහරඹය හේතුවෙන් තේ පානය සඳහා ක්‍රීඩාගාරයට ගියේ කඩුලු 3 කට 189 ක් ලෙස ලකුණු පුවරුව වෙනස් කරමිනි. 

තේ පානයෙන් අනතුරුව අජින්ක්‍යා රහනේ, විරාට් කෝලි, දැවී ගියද ඉන්දීය කණ්ඩායමට අලුතෙන් එක්වූ කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට් (නොදැවී 22) ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියේය. 

ඉන්දියාව  - පළමු ඉනිම කඩුලු 6 ක් දැවී 307 යි
(ෂිකාර් ධාවන් 35, ලෝකේෂ් රාහුල් 23, චෙටේස්වාර් පුජාරා 14, විරාට් කෝලි 97, අජින්ක්‍යා රහනේ 81, හර්දික් පාණ්ඩ්‍යා 18, රිෂාබ් පන්ට් නොදැවී 22, ක්‍රිස් වෝක්ස් 75/3)

 


අදහස් (0)

කෝලි - රහනේ ඉන්දීය පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.