Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලි - රහනේ ඉනිම පිළිසකර කරති

කෝලි - රහනේ ඉනිම පිළිසකර කරති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 5 ක් ඇතුළතදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන්නන් හමුවේ අභීතව සිටගත් නායක විරාට් කෝලි (නොදැවී 82) සහ අජින්ක්‍යා රහනේ (නොදැවී 51) තම කණ්ඩායම ඉදිරියට තල්ලුකරගෙන යමින් සිටිති.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 172 ක් ලබා සිටියේය.

තේ පානය වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටි ඉන්දියානුවෝ තේ පානයෙන් පසුව ලකුණු 102 ක් ලබාගත් නමුත් අහිමි කරගත්තේ එකම කඩුල්ලක් පමණි. විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 90 කි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 326 කට දැවී ගියේය. තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය වන ඇඩිලේඞ් ටෙස්ට් තරගය ජයගත් ඉන්දියානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති.

ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවා වන මුරලි විජේගේ පාදයත් පිත්තත් අතර සියුම් පරතරයක් සොයාගත් මිචෙල් ස්ටාක් ඒ තුළින් පන්දුව යවා පිතිකරුවාගේ මැද ඉන්න උදුරා දැම්මේය. පන්දු 12 කට මුහුණ දුන් නමුත් මුරලි විජේට ලබාගත හැකිවූ ලකුණක් නැත. දිවා ආහාරයන් පසුව ලෝකේෂ් රාහුල් පිටියේ සිටියේ විනාඩි කිහිපයක් පමණි.

විරාට් කෝලි සහ ඇඩිලේඞ් වීරයා වූ චෙටේස්වාර් පුජාරා එකතු වන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට ලකුණු 8 කි. පිතිකරුන් දෙදෙනකු වේලාසනින්ම දැවී ගොස් තිබුණ නමුත් පිටියට පිවිසි මොහොතේ සිටම විරාට් කෝලි පන්දුවට පහර දුන්නේ ඉතාමත් පහසුවෙනි. තමන්ට සුපුරුදු ‘ඩ්‍රයිව්’, ‘පුල්’ සහ ‘කට්’ පහර කරා ගිය කෝලි නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ යන්තම් බේරුණේ නිදැල්ලේ යාමට හැරි පන්දුව කඩුල්ලේ බේල වල ගෑවි නොගෑවී ගිය බැවිනි. ඒ වන විට ඉන්දීය නායකයා ලකුණු 22 ක් ලබා සිටියේය.

අද පෙරවරුවේදී කඩුලු 6 කට ලකුණු 310 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම විශාල ඉනිමක් කරා යන ආකාරයක් දිස්වූ නමුත් අගනා පන්දු යැවීමක නිරත වූ ඉෂාන්ත් ෂර්මා (41/4) ඕස්ට්‍රේලියානුවන්ගේ ගමන ලකුණු 326 දී නතර කර දැම්මේය. ඉනිමේ අවසන් පන්දු දෙකේදී පිට පිටම කඩුලු දෙකක් දවාගත් ෂර්මාට දෙවැනි ඉනිමේ පළමුවැනි පන්දුවෙන් කඩුල්ලක් දවාගත හැකිනම් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමේ අවස්ථාවද තිබේ.
ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු 4 ලකුණු 16 කදී බිඳ වැටිණ.


ඕස්ට්‍රේලියාව  - පළමු ඉනිම 326
(මාකස් හැරිස් 70, ඒරන් ෆින්ච් 50, ෂෝන් මාෂ් 45, ට්‍රැවිස් හෙඞ් 58, ටිම් පේන් 38, පැට් කමින්ස් 19, ඉෂාන්ත් ෂර්මා 41/4, ජස්ප්‍රීට් බුම්රා 53/2, උමේෂ් යාදව් 78/2, හනුමා විහාරි 53/2)

ඉන්දියාව  - පළමු ඉනිම කඩුලු 3 ට 172 යි
(චෙටේස්වාර් පුජාරා 24, විරාට් කෝලි නොදැවී 82, අජින්ක්‍යා රහනේ නොදැවී 51, මිචෙල් ස්ටාක් 42/2)

 


අදහස් (0)

කෝලි - රහනේ ඉනිම පිළිසකර කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.